Mahinda Rajapaksa: රංජන් රාමනායක කඩා පැන ඇත්තේ ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට...!

Tuesday, February 10, 2015

රංජන් රාමනායක කඩා පැන ඇත්තේ ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට...!

බෞද්ධයන් ප‍්‍රකෝප කරමින් මේ රටේ ආගමික ප්‍රශ්න ඇති කරන්න එපා.

ranjan_2[1]

බෞද්ධ සිද්ධස්ථානවලට කඩා වැදී බෞද්ධයන් ප‍්‍රකෝප වන ආකාරයේ බලපෑම් කිරිමෙන් වළකින ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

අද (10) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, ජාතික ගුරු සභාවේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ප්‍රේමවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පේ‍්‍රමවංශ මහතා මෙසේද පැවසීය.

‘පසුගිය බදාදා රාත‍්‍රීයේ කඩවත ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට වත්මන් ආණ්ඩුවේ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් කඩා වැදී එතැන කලහකාරී ලෙස හැසිරී තිබුණා. අද තැනක් නොතැනක් නොබලා පොලිස් බලතල අතටගෙන වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විවිධ ස්ථානවලට කඩාවදිමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වාතාවරණයක් තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ පූජනීය ස්ථානවලට මේ ආකාරයට කඩා වදින ප‍්‍රවණතාවක් අද ඇතිවී තිබෙනවා. එවැනි එක් අවස්ථාවක් ලෙස තමයි රන්ජන් රාමනායක මහතා මෙසේ භාවනා මධ්‍යස්ථානයකට කඩා පැන තිබුණේ. අපි රන්ජන් රාමනායක මහත්තයාට කියන්න කැමතියි ‘ඔබ මේ රටේ පශු සම්පත් නියෝජ්‍ය ඇමති. ඔබේ විෂය පථයට අදාළ කඩාවැදිය යුතු තැන් ගණනාවක් තිබෙනවා. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බොහෝ ගොවිපළවල්වල ගැටළු රැසක් තිබෙනවා. නුවරඑළියේ බෝපත්තලාව ගොවිපළ ඉන් එකක්. ඩයගම ගොවිපළ තවත් එකක්. ඒවාට යන්න, එළදෙනුන්ට පැටව් නොමැතිවීමේ සිට, සේවක ගැටළු රැසක් ඒවායේ තිබෙනවා. ඒවාට කඩා පැන කඩිනමින් විසදුම් දෙන්න’ කියලා.

බෞද්ධ මධ්‍යස්ථානයකට කඩා වැදීමට කිසිදු අයිතියක් නැහැ. ඒ වගේම අධිකරණයකින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් නොමැතිව කිසිදු ස්ථානයක් පරික්ෂා කිරීමට බැහැ. ‘පන්සල්වල හොරකම් වංචා, දුෂණ සිදුවෙනවා’ කියන මතය හැදීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා.

රංජන් රාමනායක මහතා බෞද්ධ භාවාන මධ්‍යස්ථානයක් වැටලූ සිදුවීමේ වීඩියෝව පහතින්.



රංජන් රාමනායක මහතාගේ වැටලීම සම්බන්ධයෙන් පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි ලක්බිම පුවත්පතට මෙලෙස කරුණු දක්වා තිබුණි.

චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ

Hagoda-Vipassi-Thero[1]

නව රජයේ දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන් කිසිදු විචාරයකින් තොරව යම් යම් ස්ථාන වැටලීම් කර මාධ්‍යයට රඟ දැක්වීම් කිරීමෙන් ජනතාව ඉතා ඉක්මනින් රජය කෙරෙහි කලකිරීමට ඉඩ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. සාමාන්‍ය ස්ථාන පමණක් නොව බෞද්ධ විහාරස්ථාන පවා වැටලීම දැන් ඇතැමුන්ගේ විලාසිතාව වී ඇතැයිද උන්වහන්සේ පවසති.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හෑගොඩ විපස්සි හිමියෝ.
ඇතැම් අයගේ අපරිණත භාවය නිසා රජය අපකීර්තියට පත්වීමේ අවදානමක් තිබෙනවා. චිත්‍රපට රඟපානවා වගේ සැබෑ ජීවිතයේදී ක්‍රියා කරන්න බැහැ. පසුගිය කාලය පුරාත් ඇතැම් අපරිණත අයට ඉහළ තනතුරු ලැබිම නිසා විශාල හානි සිදුවුණා. ඒ හේතුවෙන් තමයි දූෂණ වංචා” ගසා කම් වැඩිවුණේ.

රජ්‍යතන්ත්‍රික ක්‍රියාවන්වලදී පරිනතභාවයක් තිබිය යුතුයි. විමසිල්ලෙන් ක්‍රියා නොකළොත් හානිය සිදුවන්නේ රජයටයි. මෑතකදි බොරැල්‍ලේ වාහන ගාලක් පරීක්ෂා කිරීම, රුසියන් තානාපති කාර්යාලයේ ඉඩමක් පරීක්ෂා කිරීම වගේම ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයක් වැටලීම් වැනි මාධ්‍ය සංදර්ශන කිහිපයක් අප දුටුවා. අන්තිමට ඒ සියල්ල කිසිදු විමසිල්ලකින් කළ ඒවා නොවන බව පෙනී ගියා.

විචාරශීලීව ක්‍රියා නොකළහොත් යහපාලනය ඉදිරියට ගෙන යා නොහැකි වේවි. “පඤ්ඤා සුතවිනිච්ඡතී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ කියන්නේ ඇසූ දෙය නිශ්චය කර ගැනීමෙහිලා ප්‍රඥාව ඉවහල් කර ගත යුතු බවයි. ඇසූ පමණින් යමක් නොකළ යුතු බවයි ඉන් කියන්නේ.

කඩා පනින හමුදාවලින් වගේ මේ වකවානුව තුළ විවිධ ආකාරයෙන් විහාරස්ථානයන් වැටලීම සිදු කරනවා. අති සුඛෝපභෝගී ලෙස විහාරස්ථාන හදනවා කියලා ජනතාව අතර වැරදි මතයක් ඒ තුළින් ගොඩනගන්න හදනවා. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කොට බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කරපු දවසේ ඉඳන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් සහ ‍පොදු මහජනතාවගේ පරිත්‍යාග වලින් පූජා වලින් මහා විසල් ආරාම සකස් කරලා පූජා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවධියේ ජේතවනාරාමය වගේ මහ වෙහෙර ඉදි වුණා. මහා අලංකාර ලෙස එම විහාරස්ථාන ඉදි කරන විශාල ධනස්කන්ධයක් වැය කොට තිබෙනවා. මේ විධිහට ගියොත් මේ අය දළදා මාලිගාවටත් කඩා පැන වටලන්න බැරි නැහැ.

අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේ භාවිතා කළ වැසිකිළි පරීක්ෂා කළොත් වැසිකිළි වළවල් වල කට වල පවා කැටයම් කපා තිබුණා. ඒවා මහජනතාව කළේ. අදත් ‍පොදු ජනතාව සල්ලි වියදම් කරලා විහාරස්ථාන හදනවා. වැටලීම් කළ යුතු භයානක තැන් කොච්චර තියෙනවද. මහා දූෂණ කළයි කියන අය නිදැල්‍ලේ හැසිරෙනවා. කළ යුතු දේවල් නමෛයි දැන් සිද්ධ වෙන්නේ. වැටලීම් කරන්න ඕන දේවල් වහන්න කරන දේවල් ද මේ කියා සිතෙනවා.

මූලාශ්‍ර: 1 2

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.