රුහුණේ රාජපක්ෂවරු දේශපාලනයට පිවිසෙන්නේ මීට දශක හතකටත් පෙරාතුවය. ඩී. එම්. රාජපක්ෂ මහතාත්, ඉන් අනතුරුව ඩී. ඒ. රාජපක්ෂ මහතාත් දේශපාලනයට පිවිසියහ. එසේම ඩී. එම්. රාජපක්ෂ මහතාගේ පුතුන් වන ලක්ෂ්මන් රාජපක්ෂ හා ජෝර්ජ් රාජපක්ෂ යන මහත්වරු ද රුහුණේ දේශපාලනය හරහා මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත්වුණි.
ජෝර්ජ් රාජපක්ෂ මහතා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ධීවර අමාත්‍යවරයා විය. එතුමාගේ දියණිය අදත් දකුණේ මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙසින් සිටින නිරූපමා රාජපක්ෂ මහත්මියයි.
ශ්‍රීමත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන විට එතුමාගේ සෙවනැල්ල මෙන් පසුපස ගමන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට ධෛර්ය, ශක්තිය හැම අතින්ම ලබා දුන්නේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා ය.
ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා වර්ෂ 1967 නොවැම්බර් 07 වැනිදා මිය යෑමෙන් පසුව ඔහුගේ තරුණ පුත්‍රයා වූ මහින්ද රාජපක්ෂ මහතා කුරහන් සාටකය පැළඳගෙන 1970 මහා මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසුණි. එදා මහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී බෙලිඅත්ත ආසනයෙන් ඡන්ද 23,103ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයේ දොස්තර රංජිත් අතපත්තු මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 16,477 ක් පමණි.
එකල පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා විය. එතුමාගේ පවුලේ දේශපාලන දිවියට දශක හතකටත් වඩා වැඩි වූ අතර එතුමාගේ දේශපාලන දිවියට දශක හතරක් සම්පූර්ණ වී තිබේ. පටන්ගත් දා සිට අද වනතුරුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂවලට නොගිය පවිත්‍ර ශ්‍රී.ල.නි.ප. දේශපාලඥයෙක් විය.
මහින්ද රාජපක්ෂ මහතා 1988-90 භීෂණ සමයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් නොමිලේ නඩුවලට පෙනී සිටි නීතිඥයෙකු විය. ඔහු අතුරුදන් වූවන්ගේ මවුවරුන්ගේ පෙරමුණ ආරම්භ කිරීමට පුරෝගාමී විය.
වර්ෂ 2002 දී විපක්ෂනායක ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2004 අප්‍රේල් 06 වනදා මෙරට දහතුන් වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.
දකුණේ ජනතාව රාජපක්ෂවරුන්ට සලකන්නේ දෙවියන්ට මෙනි. ඒ තරමටම රාජපක්ෂවරු ජනතාවට සේවය කර ඇත. ජනතා සේවයට කැපවී සිටීම නිසාම ජනතාව ඔවුන් සමඟ සිටිති. ජනතාව ඔවුන් සමඟ සිටින තුරු කවුරු කෙසේ කීවත් රාජපක්ෂවරු දේශපාලන බිමෙන් ඉවත් කළ නොහැකිය.
රාජපක්ෂවරු දේශපාලනයට පිවිසීම නිසා පවුල්වාදය ඇතිවී ඇතැයි පැවසීම මිථ්‍යාවකි. ඒ මන්ද යත් රාජපක්ෂවරුන්ට දේශපාලන නායකත්වය ලැබෙන්නේ බණ්ඩාරනායක - සේනානායක පවුල් මෙන් තාත්තාගෙන් පුතාට ලැබුනාක් මෙන් නොව ජනතාව සමඟ ගැටී ජනතාවගේ දුක් ගිනි නිවාලන්නට, පළාත සංවර්ධනය කරන්නට, සමාජයට සේවය කරන්නට දක්වන උනන්දුව හා ලැදියාව නිසාය. එසේ නැතිව බණ්ඩාරනායක පවුල් ගස, සේනානායක පවුල් ගස ලෙසට පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා පවුල් වාදයත්, රදළ වාදයත්, ධනපති පංතියත් රාජපක්ෂලාට නැත.
රාජපක්ෂලා දේශපාලනයට රැගෙන එන්නේ ඔවුන්ගේ හැකියාව හා කැපවීම මෙන්ම සමාජ සේවා වපසරිය හරහා ඔවුනට ආදරය කරන ජනතාවගේ ආශිර්වාදයයි. දේශපාලනයට පිවිස සිටින රුහුණු පුරවරයේ රාජපක්ෂවරු දේශපාලනය නිසා සිය ධනය හා වත්කම් නැති කරගත්තා මිස වැඩිකර ගත්තේ නැත. ඔවුන් සේවයට කැප වූයේ කුරුඳුවත්තේ ධනපතියන් හා රදළයන් ලෙස නොව මහ පාරේ ගමේ සාමාන්‍ය ජනතාව අතරේය. ඔවුන් ජනතාවගේ දුක වේදනාව මෙන්ම දහඩිය සුවඳ ද හොඳින් හඳුනති. ජනතාව අතරින් මතුවී ජනතාව සමඟ එකට ගැටී ඔවුන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබාදීම රාජපක්ෂවරුන්ගේ ජන්ම පුරුද්දකි.
රාජාවලියේ සඳහන් වන අන්දමට ත්‍රීසිංහලය එක්සේසත් කිරීමට අභීතව පෙරමුණ ගත්තේ රෝහණ දේශය ජන්ම භූමිය කරගත් දුටුගැමුණු, මහා විජයබාහු හා මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ය. රාජපක්ෂවරුන් ද එසේමය.
ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ
dinamina.lk