Mahinda Rajapaksa: ලොවම පුදුම කරමින් කොළඹ ලස්සන කළාට ස්තුතියි...! - මහින්ද

Wednesday, June 10, 2015

ලොවම පුදුම කරමින් කොළඹ ලස්සන කළාට ස්තුතියි...! - මහින්ද

8-Colombo Lake-Night View

ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය ලෙස කොළඹ නගරය ගෙන ඒමට දායක වූ සැමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ස මහතා ස්තූතිය පල කරයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

**************************************************

ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය ලෙස කොළඹ නගරය නම් කිරීම

ලෝකයේ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ් සමාගම වන මාස්ටර්කාඞ් ආයතනයේ සංචාරක පුරවරයන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය හැටියට අංක එක ස්ථානය කොළඹට ලැබීම ගැන මම ආඩම්බර වෙමි. 2009 සිට ගතවූ පස් වසර තුළ මේ සම්බන්ධයෙන් ලබා තිබූ 21% කට වඩා වැඩි වර්ධනය CNN ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති නාලිකාව විසින් හඳුන්වා තිබුනේ "පුදුම දනවන සුළු" ජයග‍්‍රහණයක් හැටියටය. මාස්ටර් කාඞ් ආයතනයට අනුව තිස් වසරක ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමත්, සීඝ‍්‍ර ආර්ථික වර්ධනයත්, කොළඹ නගරයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරිමත් මේ ශ්‍රේණිගත කිරීම ලැබීමට හේතුවී තිබේ.

යුද්ධය නිමා වීමත් සමඟ මාගේ අණ්ඩුව කොළඹ නගරය වැඩිදියුණු කිරිමේ වැඩසටහනක් ආරම්භ කළේය. නගරයේ ඇළ මාර්ග සුද්ධ කොට පහත් බිම් නිසි පරිදි පවත්වා ගෙන යෑමෙන් සුළු වර්ෂාවකදී පවා කොළඹ නගරය ජලයෙන් යටවීම වැළැක්වීමත්, පැල්පත් සහිත "වතු" වෙනුවට නව නිවාස යෝජනා ක‍්‍රම ඇති කිරිමත්, කුණු කසළ බැහැර කිරීම විධිමත්ව කිරීමත්, නව උද්‍යාන හා ඇවිදින මංතීරු ඇති කිරිමත්, ‍ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කොට භාවිතයට ගැනීමත්, නගරයේ මංමාවත් හා පදික වේදිකාවන් වැඩිදියුණු කිරිමත්, ජාත්‍යන්තර ප‍්‍රමිතියේ බස් නැවතුම්පොළ ආවරණයන් ඉදිකිරීමත් මේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අංග විය. කොළඹ නගරයේ සිදුවූ මෙම විපර්යාසය කාගේත් කතාබහට ලක් විය. දැන් එයට ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලැබී තිබේ.

ආරක්‍ෂාව හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේත්, එම අමාත්‍යංශයේම ලෝක බැංකු ව්‍යාපෘති භාරව සිටි හිටපු අතිරේක ලේකම්වරයාගේත්, නාගරික සංවර්ධන අධිකාරියේ හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරුන් හා කාර්යමණ්ඩලයන්ගේත්, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්කරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේත්, කොළඹ හා කෝට්ටේ නාගරික කොමසාරිස්වරුන් හා ඔවුන්ගේ කාර්යමණ්ඩලයන්ගේත්, මේ නගර සංවර්ධන කටයුත්ත අධීක්‍ෂණය කළ යුදහමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා සාමාජිකයන්ගේත්, මේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරීමට සහභාගී වූ සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන්ගේත් කැපවීම නොමැතිව මේ කිසිවක් සාක්ෂාත් කරගැනීමට නොහැකි වනු ඇත.

ඒ සියලු පාර්ශවයන් වෙත මම මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි. අප විසින් කොළඹ නගරය තුළ කරන ලද මෙම විපර්යාසය නිසි ලෙස පවත්වාගෙන යෑම වත්මන් ආණ්ඩුවේ වගකීම බවද මතක් කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

**************************************************

මහින්ද යුගයේ ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පාරාදීසයේ අද තත්ත්වය ගැන ස්වර්ණවාහිනිය මෑතකදී විකශය කළ වාර්තාවකුයි මේ...



යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.