Mahinda Rajapaksa: යහපාලන ආණ්ඩුවේ අධිවේගී මාර්ග මගඩිය ? පිටත වටරවුම් මාර්ගය හා උතුරු අධිවේගය පිළිබඳ බොරු ?

Saturday, August 15, 2015

යහපාලන ආණ්ඩුවේ අධිවේගී මාර්ග මගඩිය ? පිටත වටරවුම් මාර්ගය හා උතුරු අධිවේගය පිළිබඳ බොරු ?

highway lies

ඉංජිනේරු සංසදය - ජාතික වෘත්තික එකමුතුව මගින් සිදු කරන ලද අනාවරණයකි. source

පසුගිය මාස හයක යහපාලන මෙගා මිත්‍යාවේ එක් විශාල උපකුලකයක් වූ හයිවේ මිත්‍යාවේ ප්‍රචාරණය කරන ලද තවත් එක් බොරුවක් වූයේ පිටත වටරවුම් අධිවේදී මාර්ගයේ කඩවත-කෙරවලපිටිය කොටසේ වියදම ඉතා විශාල ලෙස අඩුකර ඇති බවය. ආණ්ඩුව පවසන පරිදි මේ වික්‍රමය කර ඇත්තේ යහපාලන මූලධර්ම මගින් පමණක්ය. නමුත් මෙම ලිපියෙන් අපි විවරණය කරන්නේ මෙම වියදම් අඩු කිරීම කර ඇත්තේ කෙතරම් වංචනික ආකාරයෙන්ද යන්නය.

අලුතින්ම පාලමක් හෝ මාර්ගයක් ඉදිකිරීමේදී ඔබ දකින කාරණය නම් ඒවා ඉදිකරන්නේ බොහෝවිට පිහිටි පොළවට ඉහලින් වීමයි. මෙයට හේතුව නම් ගංවතූර තත්වයන් යටතේ එම මාර්ග හෝ පාලම් කැඩී බිඳී යාමෙන් වලක්වා ගැනීමට නම් ගංවතුර පැමිනෙන මට්ටමට වඩා උසින් ඉදි කළ යුතු වීමයි. ගංවතුරට හසුවීමෙන් මාර්ගවල කාපට් ඉතා ලෙහෙසියෙන් ගැලවී යා හැක. එයට අමතරව ගංවතුරට ගසුවී ගසාගෙන එන ගස් කඳන් ආදී විශාල සුන්බුන් නිසා පාලම් ආදී ඉදිකිරීම් වලට වන හානි වලක්වා ගැනීමට සමහරවිට පාලම් මාර්ග වලටත් වඩා ඉහලින් ඉදිකරයි. විශාල වැටි (Embankments) මතින් ඉදිකරන මාර්ග (උදා:- අධිවේගී මාර්ග ) ඉතාමත් උසින් ඉදි කරන්නේ ගංවතුර විශාල පස් වැටි උඩින් ගමන් කළහොත් එම පස් වැටි සේදී යාම නිසා මාර්ගයට ඉතා දැඩි හානි වියහැකි නිසාය.

එසේම ගංවතුරට අනිවාර්යයෙන්ම යටවන පාරවල් බොහෝවිට නිම වන්නේ කාපට් යොදා නොව කොන්ක්‍රීට් යොදාය. උදාහරණ ලෙස සෝමාවතිය පුදබිමට යන මාර්ගය කොන්ක්‍රීට් යොදා සකස් කර ඇත්තේ එම මාර්ගය මහවැලි ගගේ ගංවතුරට අනිවාර්යයෙන්ම යටවන බැවිනි. ඉතින් මෙසේ උස් වූ පස් බැමි මතින් අධිවේගී මාර්ග ඉදි කිරීමේදී එම මාර්ග කෙතරම් උස් කර තනන්නේද යන්න තීරණය කරන්නේ කෙසේද??

මෙහිදී ජල විද්‍යාව හා ද්‍රාව විද්‍යාව (Hydrology and Hydraulics) සම්බන්ධව විශේෂඥ දැනුම ඇති ඉන්ජිනේරුවන්ගේ සහය ලැබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබව දැනුවත් කිරීම සඳහා ඉන්ජිනේරු සංසදයේ ජල විද්‍යා (Hydrology) ඉන්ජිනේරුවරුන් විසින් ගණනය කරන ගණනය කිරීමක් මෙසේ දක්වමු. සැමටම වැටහෙන පරිදි එය සරල බසින් මෙසේය. ගංවතුර තත්වයන් ඇතිවන්නේ ගංගා පිටාර ගැලීමෙනි. මෙය ස්වාභාවික තත්වයකි. ඉහල ගංගා පෝෂක ප්‍රදේශ වලට (Upstream Catchments) වැසි වැටීම අනුව පහල තැනිතලා වල (Downstream Flood Plains) ගංගා පිටාර ගැලීම සිදුවේ. අපි එදිනෙදා ලබන ප්‍රායෝගික අත්දැකීමක් සලකා බලමු. ගංවතුර අත්විඳ ඇති අය කියනා කරුණක් නම්, "සාමන්‍යයෙන් ගංවතුර හැම අවුරුද්දේම මෙන්න මේ උසට එනවා" තවත් විමසුවොත්, "අවුරුදු දහයකට කලින් නම් මට මතකයි අඩි දහයක් විතර උසට ගංවතුර ආවා" ලෙස පවසනු ඇත. වැඩිහිටියෙක් මෙසේද පවසනු ඇත. "අපි පොඩි කාලේ මීට අවුරුදු පනහ හැටකට කලින් අන්න අර ගහේ උසට වතුර තිබ්බා මට මතකයි. අඩි හතලිහක් වත් උසට වතුර තිබ්බා. එයින් පස්සේ එච්චර ගංවතුරක් මෙහේට ඇවිල්ල තියනවාඅ මම දැකලා නැහැ."

මේ කතන්දර වලින් කියවෙන්නේ කුමක්ද? කුඩා ගංවතුර තත්වයන් හැම වසරකම ඇතිවිය හැක. ඊට වඩා විශාල ගංවතුරක් ඇතිවන්නේ වසර 5කට හෝ 10 කට වරක්ය. වසර 50කට වරක් විශාල ගංවතුරක් ඇතිවිය හැක. එලෙසම වසර 200කට, 500කට, 1000කට, 5000කට, 10000කට වරක් ඇතිවන ගංවතුරක් ගැන වුවද ඉන්ජිනේරුමය ගණනය කිරීම් ඔස්සේ අදහසක් ලබාගත හැකිය. එවැනි ගංවතුරක් ගැන අපට අපගේ ජීවිත කාලය තුළදී අත්දැකීමක් ගැනීමට ඇති ඉඩකඩ අඩු වුවත් ඉදිකිරීම් වලදී එම ඉදිකිරීම් වලට ඇති වන ආපදා තත්වය කෙතරම්ද යන්න මැන ගැනීමට ඒවා ගණනය කිරීම අත්‍යාවශ්‍ය වේ.

උදාහරණයක් ලෙස ලංකාවේ ගංවතුරට ලක් වන කල්පිත ප්‍රදේශයක සාධාරණ ලෙස ගංවතුර ගණනය කිරීමක් (Hypothetical Calculation) කළහොත් (ජලපරිමාව අනුව සලකා බැලූ කල - Flood Volume), වසර දෙකකදී ඇතිවන ගංවතුර තත්වයක් (2-Year Frequency Flood) වගේ දෙගුණයක් විශාල ගංවතුර තත්වයක් ඇතිවන්නේ වසර 100කට වරක්ය (100-Year Frequency Flood), තුන් ගුණයක් විශාල ගංවතුරක් ඇතිවන්නේ වසර 5000කට වරක්ය. දළ වශයෙන් ගණනය කිරීමක් කළහොත් තැනිතලා ප්‍රදේශයකදී වසර 5කට වරක් එන ගංවතුර වසර දෙකකදී එන ගංවතුරට වඩා මීටරයක් පමණ උසින් වැඩිවේ. වසර 100කට වරක් එන ගංවතුර ඊට මීටර 3ක් පමණ උසින් වැඩිවේ. වසර 5000 කට වරක් එන ගංවතුර ඊට මීටර 5.5 දක්වා වැඩිවිය හැක. මේ සාධාරණ ගණනය කිරීම (General Calculation) කර ඇත්තේ තැනිතලා ප්‍රදේශයකට බැවින් එසේ නොවන ප්‍රදේශ වල උසවල් මීට වඩා වෙනස් විය හැක

මේ සියලු කතාවල අවසාන ප්‍රතිඵලය කුමක්ද? අපි අධිවේගී මාර්ගයක් තැනීම සඳහා මීටර 7ක් උසට පස් බැම්මක් ඉදිකරන්නේ යයි සිතන්න. එම පස් බැම්මට වසර 1000කට වරක් එන ගංවතුරටද මුහුණ දිය හැකි යයි සිතන්න. එනම් එම පස් බැම්ම මේ වසරේදී ගංවතුරට හසුවී කැඩී බිඳී යාමේ සම්භාවිතාව 1/1000ක් වේ. එනම් 0.1% ක සම්භාවිතාවකි. අපි පස් බැම්ම තනන්නේ වසර 100 කල් පැවැතීමට යයි සිතුවහොත් එම වසර 100 ඇතුලත එම බැම්ම ගංවතුරට හසුව කැඩී බිඳී යාමේ සම්භාවිතාව (1-(1-(1/1000))^100) වේ, එනම් 9.5% කි. නමුත් අපේ ප්‍රදේශය ගැන දැනුමක් නොමැති කුහක ගතිපැවතුම් ඇති අඥාන මුග්ධයෙකු පැමින ? "අම්මෝ, මේ පස් බැම්මේ උස!! මෙච්චර උසට පස් ගොඩ ගහන්නේ මොකටද?? මෙච්චර විශාල එකක් හදලා තියෙන්නේ ශුවර් එකටම කීයක් හරි මාටියා ගහන්න තමයි, මේකට විරුද්ධව පෙත්සම් ගහන්න ඕන, උසාවියට ගිහින් තහනම් නියෝග ගන්න ඕන!!" යයි සිතා එම බැම්ම වහාම ක්‍රියාත්මක වන පරිදි මීටර 2ක් උසින් අඩු කර තැනිය යුතු යයි උසාවි නියෝගයක් ගනි. දැන් අපි අඥාන මුලාදෑනියාගේ පාලනය යටතේ අපේ මාර්ගය පෙරට වඩා මීටර් 2ක් පහතින් ඉදිකොට සතුටින් ජීවත් වෙමු!! (Hypothetical Situation - නම් ගම් හා සිදුවීම් මනඃකල්පිතය ? )

කෙතරම් කල් අපට සතුටින් ජීවත් විය හැකිද???

පෙර ගණනය කිරීම් උපයෝගී කරගෙන කීවොත්, වසර 50ක් ගංවතුරේ උසට වඩා වසර 1000ක ගංවතුරේ උස මීරට 2ක් වැඩිය. මීටර දෙකක් උස අඩු වූ විට වසර 50කට වරක් එන විශාලතම ගංවතුරට වුවද මාර්ගය යටවිය හැක. එක වසරකදී මාර්ගය ගංවතුරට යටවීමේ සම්භාවිතාව (1-(1-(1/50))^1)කි එනම් 2%කි. වසර පනහකට වරක් මාර්ගය යට වීමට වැඩි සම්භාවිතාවක් ඇති අතර වසර 100කට බොහෝවිට වරක් යටවේ. අපි අපේ මාර්ගය සාදන්නේ වසර 100ක් කල් පැවතීමටයි. නමුත් අභාග්‍යසම්පන්න ලෙස මාර්ගය වසර 50ක් ඇතුලත කැඩී බිඳී යයි. ? තවත් සරලවම පවසන්නේ නම්, අපේ මාර්ගය අපි මුලදී හැදුවේ අවුරුදු දහසක ගං වතුරකටත් කැඩී බිඳී නොයන සේය. නමුත් එය මීටර 2ක් පහත් කිරීම නිසා අවුරුදු 50ක ගංවතුරකටත් කැඩී බිඳී යනු ඇත.

අපි මාර්ගය වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කරන විට එය සෑදූ පිරිස් ඉතිරි වී නැත. කැඩුනු මාර්ගය පමණක් ඉතිරි වී ඇත.

මේ කතාව අද අපි අත්දකින යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපය සමග සසඳා බලන්න. මොවුන් කියන්නේ අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තු වියදම අනවශ්‍ය ලෙස අධික බවය. එනම් අවශ්‍ය ප්‍රමාණයට වඩා එය විශාලව සැලසුම් කර ඇත යන්නයි (Overdesign). එසේ කියා පස් බැමි (Embankments) වල උස අඩු කරයි. කණු මතින් දිවෙන මාර්ගයේ (Viaducts) උස අඩු කරයි. කණු මතින් දිවෙන මාර්ගයේ උස අඩු කරයි. මෙසේ කිරීමෙන් රටේ ජනතාවගේ මුදල් ඉතිරි කරනවායයි මොවුන් පවසයි. මෙය හුදෙක්ම ජනතාව ගොනාට ඇන්දීමකි. ලාබ බඩුවේ හිලක් තිබේ යයි කියන්නාක් මෙන් මුදල් ඉතිරි වෙනවා මෙන් පෙනුනද සැබැවින්ම සිදුවන්නේ මුදල් නාස්තියකි. එනම් හරියට කාර් එකකට ටයර් 4ක් ඕන මොකටද? තුනකින් දුවන්න පුලුවන් යයි කීම වැනිය. යම් ව්‍යාපෘතියක් එක්කෝ හරියට කළ යුතුය. නැතහොත් නොකර සිටිය යුතුය.

මීට අමතරව මොවුන් මුදල් ඉතිරි කිරීමට යයි කියා කළ තවත් දෙයක් නම්, කණු මතින් දිවෙන මාර්ග කොටසේ (Viaduct) දිග අඩු කර පස් බැමි (Embankment) මත යන මාර්ග කොටසේ දිග වැඩි කිරීමයි. සැබැවින්ම කණු මත මාර්ගය සෑදීමට යන වියදම පස් බැමි මත මාර්ගය සෑදීමට යන ව්යදමට වඩා වැඩිය. නමුත් පිටත වටරවුම් මාර්ගය කඩවත-කෙරවලපිටිය කොටස ඉදි වන්නේ මුතුරාජවෙල තෙත් බිම් හා වගුරු හරහාය. වගුරක් හරහා සාදන නිසා පස් බැමි ඉදිකිරීමෙන් එම වගුරේ ජලය ගමන් කිරීමට ඇති ඉඩකඩ ඇහිරේ. මෙනිසා සිදුවන්නේ අනවශ්‍ය ලෙස ජලය එකතු වීම නිසා පරිසර පද්ධතියට හානි වීමත්, එක් ප්‍රදේශයක ගංවතුර බැස යාමේ ශීග්‍රතාව අඩු වීම නිසා අනවශ්‍ය ගංවතුර තත්වයක් ඇතිවීමත්ය. ඔබට මතකද දක්ෂිණ අදිවේගී මාර්ගය නිසා මුල් කාලයේ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ වල කුඹුරු සහිත ප්‍රදේශ වල පෙර නොතිබූ ගංවතුර තත්වයක් ඇතිවූ බව? එයට හේතුව වූයේ මෙම පස් බැමි නිසා ජලය ගලා බැසීමට බාධා ඇති වීමයි.

සංවර්ධන ව්‍යාපෘති වලින් ඇතිවන පරිසර හානිය නැති කළ නොහැක. නමුත් අවම කළ හැක. සිදුවූ අතපසුවීම් වලින් පාඩම් ඉගෙන ගෙන නැවත එම තත්ව ඇති නොවන ලෙසට ක්‍රියා කිරීමයි කළ යුත්තේ. එම වැරැද්ද නිවරදි කර ගැනීමේ ප්‍රථිපලයක් ලෙස කටුනායක අදිවේගී මාර්ගයත් මෙම් පිටත වටරවුම් මාර්ගයත් මුතුරාජවෙල අවට කණු මත ඉදි කිරීම සිදුවිය. නමුත් යහපාලනයෙන් අපි ඉදිරියට ගිය ගමන නවත්වා නැවතත් පෙර සිදුවූ අතපසුවීම් වලටම අපිව යොමුකරවමින් සිටින්නේ රටට ආදරේටද?? ජනතාවට ආදරේටද?? යහපාලන ආණ්ඩුවේ තවත් දුර්වලතාවක් වනුයේ පස් බැමි මත මාර්ගය ඉදිකිරීම නිසා වන කාල නාස්තියයි. ඉදිකිරීම් සඳහා ගන්න පස් යම් ප්‍රමිතියකට අනුකූල විය යුතුය. ඕනෑම පසක් මේ සඳහා යොදාගත නොහැක. ගම්පහ, දිවුලපිටිය අවට ආදී අවට ප්‍රදේශ වලින් පස් ලබාගෙන අවසන්ව තිබීම නිසා ගම්පහ අවට ප්‍රදේශ වලින් පස් ලබාගැනීමේ අපහසුතාවක් පවතී. ඒනිසා වෙනත් ප්‍රදේශයක සිට පස් ගෙන ආයුතුය. ඊට අමතරව පස් පුරවා තලා පස් බැමි සකස් කිරීම වර්ශා කාලයේ ඉතාම සෙමින් සිදුවන්නකි. ඊට සාපේක්ෂව කණු මත ඉදිකිරීම වේගවත්ය. මේ නිසාම උතුරු අදිවේගයේ පමණක් ඉදිකිරීම් කාලය (Construction TIme) වසර දෙකකින් වැඩිවීමට නියමිතය

යහපාලන අධිවේගී මාෆියාව
------------------------------

මහින්ද රාජපක්ෂ රජයෙන් යෝජ්තව තිබූ උතුරු අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් එහි නම වෙනස් කර "මධ්‍යම අධිවේගය" ලෙස නම් කර නැවත වතාවක් මුල්ගල් තියා වංචාසහගත ක්‍රියාවක නිරතවනව පසුගිය සතිවල දක්නට ලැබුණි. මෙයට අමතරව මොවුන් උතුරු අධිවේගයේ කළ ප්‍රධාන වෙනස්කම් නම් එහි පෙර පැවති ආරම්භක ස්ථානය වූ එඬේරමුල්ල ඉවත් කර එය කඩවත දක්වා ගෙන යාමයි. ඉහත රූපයේ දැක්වෙන්නේ එයයි. එහි ලා කොල පැහැයෙන් දැක්වෙන්නේ කටුනායක අධිවේගී මාර්ගයයි. ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ පිටත වටරවුම් අධිවේගී මාර්ගයයි. මේ දෙක කෙරවලපිටියේදී මුණගැසේ. තද නිල් පැහැ ඊතලයෙන් දැක්වෙන්නේ ඉදිකිරීමට නියමිතව තිබූ උතුරු අධිවේගයේ ගමන් මගයි. මෙය වසර ගණනාවක් පුරා එක්සත් රාජධානිය හා එක්සත් ජනපද ඉන්ජිනේරු උපදේශන ආයතන මගින් සිදුකළ ශක්‍යතා අධ්‍යයන වාර්තා පදනම් කරගෙන උතුරු අධිවේගී මාර්ගය ආරම්භය සඳහා සුදුසුම වූ ස්ථානය ලෙස තෝරාගත් ස්ථානයයි. රතු පැහැ ඊතලයෙන් දැක්වෙන්නේ යහපාලන ආණ්ඩුවේ ඊනියා මධ්‍යම අධිවේගයේ ආරම්භක ස්ථානය වූ කඩවත සිට දිවයන මධ්‍යම අධිවේගයයි. මධ්‍යම අධිවේගය (උතුරු අධිවේගය) කඩවතින් ආරම්භ කිරීම කිහිප ආකාරයකින් අවාසිදායක හා දුර්වල සැලසුමකි.

පෙරදී යෝජිතව තිබූ පරිදි එඬේරමුල්ලෙන් උතුරු අධිවේගය ආරම්භ වුනි නම් කොළඹ සිට පැමිනෙන අයකු කැළණි පාලම පසු කර කටුනායක අධිවේගය ඔස්සේ ගොස් එඬේරමුල්ලට ගොස් එහි ඉදිකිරීමට යෝජිතව තිබූ හුවමාරුව හරහා අවශ්‍ය නම් උතුරු අධිවේගී මාර්ගයට පිවිසිය හැක. අවශ්‍ය නම් පිටත වටරවුම් මාර්ගය ඔස්සේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැක. අවශ්‍යනම් ඍජුවම කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේම ගමන් කළ හැක. එසේම උතුරේ සිට පැමිණෙන අයටද කෙලින්ම කොළඹට පැමිනීමට ඉඩ ඇත.

නමුත් යහපාලන ආණ්ඩුවේ උවමනා පරිදි අත්තනෝමතික ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය හරහා උතුරු අධිවේගයේ සැලසුම් වෙනස් කර එය කඩවත සිට (එනම් පිටත වටරවුම් අධිවේගී මාර්ගය මත සිට) ආරම්භ වන පරිදි ඉතා දුර්වල සැලසුමක් ඉදිරිපත් කර ඇත. කඩවතින් උතුරු අධිවේගය ආරම්භ වූ විට සිදු වන්නේ පහතින් දක්වා ඇති දේ වේ. කොළඹ සිට පැමිනෙන අයකු උතුරු අධිවේගයට යාමට නම් එක්කෝ කොළඹ-මහනුවර (A01) මාර්ගයේ කඩවතට ආ යුතුය. නමුත් එම මාර්ගයේ වාහන තදබදය අධික නිසා ඔහු නිසැකවම තෝරා ගනුයේ කටුනායක අධිවේගය ඔස්සේ කෙරවලපිටිය හුවමාරුවට ගොස් එතනින් පිටත වටරවුම් මාර්ගය ඔස්සේ කඩවතට ගොස් එතනින් උතුරු අධිවේගයට ඇතුලු වීමයි. නමුත් මොහොතකට ඔබම සිතන්න මෙම මාර්ගය නිසා උතුරු අධිවේගයට යන පිරිසට කෙතරම් දුරක් වැඩිපුර යාමට වේදැයි කියා??? මෙම මාර්ගය නිසා යම් අයෙකුට වැඩිපුර කිලෝමීටර 10ක් පමණ ධාවනයේ යෙදීමට සිදුවේ.

අධිවේගී මාර්ග තැනීමේ අරමුණ ඉතාමත් ඉක්මනින්,අවම බාධා සහිතව මහමගට වැයවන කාලය අවම කරගෙන ගමන් කිරීමයි. නමුත් මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා මේ කිසිවක් ඉටුවේද??

එබැවින් පසු කළෙකදී කෙරවලපිටිය හා ගම්පහ හෝ කෙරවලපිටිය හා වේයන්ගොඩ යාවන පරිදි තවත් අධිවේගී මාර්ග කොටසක් ඉදිකිරීමට අවශ්‍යතාවක් ඇතිවිය හැකි බව තතුදත් ඉන්ජිනේරුවෝ පවසති. මෙසේ තවත් මාර්ග කොටසක් එකතු වුවහොත් එය අනවශ්‍ය වියදමක් වනවා පමණක් නොව විශාල පරිසර හානියක් ඉදිරියේදී ඇතිවීමකට කරන අතවැනීමකි. මන්ද මුතුරාජවෙල තෙත් බිම් හා මඩ වගුරු හරහා ත්‍රිකෝණයක පාද ආකාරයෙන් අධිවේගී මාර්ග ඉදිවී තිබීම නිසා ජලය ගලාබස්නා මාර්ග අවහිර වීමත් ඒ නිසා ගංවතුර තත්ව ඇතිවීමත් නොවලවක්වා ගත නොහැකි කරුණු වේ.

සාමන්‍යයෙන් මෙවැනි මෙගා ව්‍යාපෘතියකට යන වියදමින් සැලකිවයුතු මුදලක් ඉඩම් අත්පත් කිරීමට වැයවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යෝජිතව තිබූ එඬේරමුල්ලෙන් ආරම්භ වන උතුරු අධිවේගය ගමන් කිරීමට නියමිතව තිබුනේ ප්‍රධාන දුම්රිය මාර්ගයට (Main Line) සමාන්තරව කුඹුරු හා වෙල් ඔස්සේය. නමුත් යහපාලන ආණ්ඩුවේ උතුරු අධිවේගය ගමන් ගන්නේ කඩවත සිට ඉදිකළ නගර හා නිවාස ඔස්සේය. එනිසා ඉඩම් අත්පත් කර ගැනීමට වැඩිපුර වියදමක් යන්නේ නව සැලසුමේය. ඒ අනුව මෙය ඉතා දුර්වල ඉන්ජිනේරුමය සැලසුමකි.

තවත් මගඩියක් වනුයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ මංතීරු 6කට ඉදිකිරීමට තිබූ කොටස මංතීරු 4කට අඩු කිරීමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් යෝජනා වී තිබුනේ මංතීරු 6කට අවශ්‍ය වන පරිදි ඉඩම් අත්පත් කරගෙන, මංතීරු 6කට අවශ්‍ය ලෙස පළලට පස් බැමි ඉදිකිරීම හා, කණු මතින් මාර්ගය ගමන් කරන ස්ථාන වලද මංතීරු 6ක් සෑදිය හැකි පරිදි සාදා ඉඩ තැබීමයි. නමුත් පලවන අදියරේදී නිම කරන්නේ මංතීරු 4ක් පමණි. ඉතිරි මංතීරු 2පසු කළෙක (එනම් 2027 දී) නිම කිරීමට යෝජනා වී තිබිණි. මන්ද කඩවත කෙරවලපිටිය කොටස පොදුවේ භාවිතා කරන කොටසක් නිසා එහි වාහන තදබදය වැඩිවිය හැක. 2027 වන විට මංතීරු 4 මදිවිය හැකි බව ගණන් බලා තිබුණි. එනිසා දැනට මංතීරු 4ක් ඉදිකළත් එය මංතීරු 6 දක්වා පුළුල් කළහැකි වන ලෙස යටිතල පහසුකම් ඉදිකළ යුතුය. නමුත් යහපාලන ආණ්ඩුව විසින් ව්‍යාපෘති වියදම අඩුකරන මුවාවෙන් මහජනයා රැවටීමට මංතීරු 6 මංතීරු 4ක් පමණක් වන ලෙස සැලසුම් සාදා ඇත. එනිසා 2027 වනවිට් ඉඩම් අත්පත් කරගෙන මාර්ගය පුළුල් කිරීම ඉතා අපහසු වන බව නිසැකය.

කලකදී සැවොම "ආසියාවේ ආශ්චර්යය" යයි කීවිට සිනාසුනු නමුත් දශක ගණනාවක දිගුකාලීන සැලසුම් ඇතිව ආසියාවේ ආශ්චර්යයක් කරා යන ගමනේ මෙම කොටස් එක් මහා සැලසුමක (Master Plan) අනු කොටස් වේ.

එනිසා ඔබත් ද්වේශ සහගත අවස්ථාවාදී යහපාලකයන්ගේ පදනම් විරහිත ප්‍රකාශ වලට තවත් නොරැවටෙන්න. ඔබ නොදැකපු නමුත් කටකතා වලින් පමණක් විශ්වාස කළදේට (මෙගා බොරු වලට) වඩා ඇස් පනාපිට දකිනා දේ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබේ ඡන්දය කල්පනාකාරීව රටට යමක් කළ පිරිස වෙනුවෙන් භාවිතා කරන්න. ?

යාලුවන්ටත් දැනුවත්වීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. National Professionals' ForumAugust 15, 2015 at 5:57 PM

    Follow us @ facebook.com/eng.national.professionals

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.