Mahinda Rajapaksa: Mahinda.info සමග එක් වුණ ඔබට ස්තුතියි...!

Wednesday, August 19, 2015

Mahinda.info සමග එක් වුණ ඔබට ස්තුතියි...!

mahinda-rajapaksa-thank-you

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුට එරෙහිව දෙස් විදෙස් බලවේග එකතුව දියත් කළ දරුණුතම මඩ අවලාද ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදුවිය. සමහර විට මුළු ලෝකයේම එවන් මඩ අවලාද ව්‍යාපාරයක් එල්ල වුණ වෙනත් රාජ්‍ය නායකයෙකු නොසිටියා විය හැකිය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කිසිවකට නොසැලී අභීතව මුහුණ දුන්නද අන්තර්ජාලය තුළ ඒ ගැන ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමේ අභියෝගයක් පැවතුණි.

ජනවාරි 9 දින දක්වා අප දුටු සියලු අභියෝග සැලකිල්ලට ගනිමින් 2015.02.01 දින සිට ස්වෙච්ඡාවෙන් පුරා අඩ වසරක්, මහින්ද රාජපක්ෂ නම් වූ ඒ මහා යුග පුරුෂයා වෙත එල්ල වූ ඒ අභූත මඩ චෝදනා එකින් එක mahinda.info මගින් සාක්ෂි සහිතව ඔබ වෙත ඉදිරිපත් කළෙමි. මේ වෙද්දී ලිපි 353 ක් ලියවුණි. මෙම වෙබ් අඩවියේ පරමාර්ථය වූයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයක් කිරීම නොව එතුමාට එරෙහිව තිබූ අසත්‍ය මඩ අවලාද වලට පිළිතුරු දීම වන අතර එය කොතෙක් දුරට සාර්ථක වූවදැයි තීරණය කිරීම සහෘදයින් වෙත බාර කරමි.

අන්තර්ජාලය තුළ හා ඉන් පිටත සමාජයේදී මහින්ද රාජපක්ෂ නම් පුදුමාකාර මානව හිතවාදියා වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම අතිශය භාග්‍යක් ලෙස සලකමි.

දිනපතා විශාල ඊමේල් කන්දරාවක් ලැබුණ අතර අධික කාර්යබහුලත්වය නිසා යම් යම් අවස්ථාවන්හි ඒවාට ප්‍රතිචාර දැක්වීමට නොහැකි විය. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

විටෙක ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මෙම වෙබ් අඩවිය අවහිර කළ අතර විද්වතුන් සහ වෘත්තිකයින් ඇතුළු මෙයට පිවිසෙන සහෘදයින්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එය අකුලා ගැනුණි. එලෙස ඔවුන් අමතමින් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම සහෘදයින්ට ස්තුතිය ප්‍රකාශ කරමි.

දරුණුතම අන්තර්ජාල හැකර් ප්‍රහාරයන් ගණනාවකටම ලක් වුණ අතර අපට තාක්ෂණික සහය ලබා දෙන මිතුරන් ඒ සෑම අවස්ථාවකදීම එදිනෙදා කාර්ය‍යන් පවා පසෙකලා රෑ පුරා නිදි වර්ජිතව වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට වෙහෙසුණි. ඒ සියලුම අවස්ථාවන්හීදී සහයෝගය දැක්වූ හිතමිතුරන්ට හෘදයාංගම ස්තුතිය පළ කරමි.

අවශ්‍ය සියලු නීතිමය තොරතුරු, ලිපි වලට අවශ්‍ය වෙනත් තොරතුරු සහ ඡායාරූප ලබා දෙමින් සහයෝගය දැක්වූ සියලුම විද්වතුන් සහ හිතමිතුරන් හට සත්‍යය ග්‍රහණය කරගන්නා ලද පාථකයින් වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරමි.

එමෙන්ම mahinda.info අඩවිය වෙත පිවිසෙමින් කරුණු කාරණා අධ්‍යයනය කරමින්, මේ දක්වා 3860 ක් පමණ වටිනා "Comments" එක් කරමින්, අප අතින් සිදුවූ යම් යම් අඩුපාඩු ඇතොත් ඒවා නිවැරදි කරමින් මෙම ව්‍යාපෘතිය පුරාවට අප උපයාගත් එකම වත්කම වූ ආදරණීය පාථක පිරිස ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. දහසක් රාජකාරි අතර මොහොතක් නැවතී මෙහි පැමිණ විමසා බැලූ මතවාදීව විරුද්ධ අයටත් ස්තුතිය පළ කරමි.

මෙම තොරතුරු ජනතාව වෙත ගෙන යාමට මෙහි ලිපි නිර්ලෝභීව "Share" කරමින් අනුග්‍රහය දැක්වූ පාථක සහෘදයන්ව සහ සහෝදර පේජ් ඇඩ්මින්වරුන්ව ගෞරවයෙන් යුතුව සහ කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.

ෆේස්බුක් ට්විටර් ගූගල් ඇතුළු සමාජ ජාලයන් තුළ බොහෝ හිත මිතුරන් පිරිසක් රෑ දවල් නොබලා කටයුතු කළ අතර පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට කතිරය ගැසූ බොහෝ පිරිසක් මෙවර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයක් විය. ඒ සියල්ලන්ටම විශේෂයෙන්ම ස්තුතිය පළ කරමි. ඉදිරි මාස කිහිපය මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක වන අතර එතුමාට ශක්තියක් වෙන ලෙස ඒ සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඡන්දය ලබා දුන් සියලුම ආදරණීය ජනතාවට ස්තුති කිරීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.