රනිල්ව එලවන්න පුලුවන් මෛත්‍රීපාලට විතරයි, ඒ නිසා මෛත්‍රීපාල හා එක් වන්න කියන අයට පිළිතුරු.

පළාත් පාලන මැතිවරණය ආරම්භ වීමට පෙර එකතරා පිරිසකගේ මතය වූයේ රනිල්ව එලවීමටනම් මෙම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂය සමග එකතු වී මැතිවරණයට තරග කළ යුතු බවයි. නමුත් එසේ කිරීමෙන් සිදුවන හානිය අප පහත ලිපිය සමාජ ජාලයන්හි පළ කර පෙන්වා දුන්නෙමු.

ශ්‍රීලනිප සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමේ ආදීනව…! [Mahinda.Info EXCLUSIVE]

මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් දේශපාලන දැක්ම අතින් වඩාත් ඉදිරියෙන් සිටි නිසා, පසුගිය මහ මැතිවරණයේදී බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෛත්‍රීපාල සමග එකතු වී රෑ වැ‍ටුණ වලේ, දවලුත් වැටීම සිදුවූයේ නැත. රනිල්ව එලවන්නටනම් මෛත්‍රීපාල සමග එකතු වෙන්නට කියපු අය තම සැබෑ ප්‍රතිරූපය පෙන්වමින් රනිල්ගේ ආණ්ඩුවේම ඇමති ධූර ලබා ගති. ඔවුන්ගේ බහට ‍රැව‍ටුණ තවත් කිහිප දෙනෙක් තමන්ගේ මතවාදී දුර්වලතාවය දැනී දැන් නිහඬව සිටී.

දැන් තවත් පිරිසක් පරන තර්කයම අලුත් මුහුණුවරකින් ගෙන එයි. ඔවුන් පවසන්නේ 2020 ට කළින් රනිල්ව එලවන්නට පුලුවන් මෛත්‍රීපාලට පමණක් බැවින් මෛත්‍රීපාල සමග එක් විය යුතු බවයි. ඔවුන්ගේ වැඩපිළිවෙළ සැකවින් පහත පරිදි යි.

1. 2020 ට කළින් රනිල් බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන එන බවත් එනිසා ඊට කළින් රනිල්ව එලවිය යුතු බවත් පැවසීම.
2. 2020 ට කළින් රනිල්ව එලවිය හැක්කේ මෛත්‍රීපාලට පමණක් යැයි කීම.
3. ඒ නිසා මැතිවරණය ගැන නොසිතා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමගි වියයුතුයි කීම.
4. එවිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් රනිල්ව එලවනු ඇති බව පැවසීම.
5. එම තර්කයට උදාහරණ ලෙස මේ දින වල මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් එජාපය විවේචනය කරන බව පැවසීම.
6. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ හැටි දන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා, පසුගිය මහ මැතිවරණයේදී බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෛත්‍රීපාල සමග එක් වී සිදුකළ දේ නැවත කොන්දේසි විරහිතව සිදු නොකිරීම. (කොන්දේසිය නම් මෛත්‍රීපාල පළමුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු ය)
7. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග එකතු නොවීමත්, දිගින් දිගටම මෛත්‍රීපාල ජනාධිපතිවරයාව විවේචනය කිරීමත් නිසා, මෙම තර්කය ගෙන එන පඬියන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කිරීම. (මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කිරීම ගැන ඔවුන් මුනිවත රකී, එසේ නැතහොත් ඔහු එසේ කරන්නේ රිටන් එක දීමට යැයි පවසයි)
8. එවිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා අහිංසක බවත්, මහින්ද රාජපක්ෂ මහතා ද්‍රෝහියා බවත් පෙන්වීම.
9. එවිට ඔබ ලවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කිරීම.
10. ඔබගේ ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට දීමෙන් වැළැක්වීම.

ඒ අනුව මෛත්‍රීපාල සමග එක් වන්න හෝ මෛත්‍රීපාලව ශක්තිමත් කරන්න කියන අයගේ උපාය ඔබට දැන් පැහැදිළි වෙනු ඇති. ඒ අතර ඔවුන්ගේ තර්කයේ ඇත්ත නැත්ත බලමු.

1. 2020 ට කළින් රනිල් බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන එන බවත් එනිසා ඊට කළින් රනිල්ව එලවිය යුතු බවත් ඇත්තකි.

2. “2020 ට කළින් රනිල්ව එලවිය හැක්කේ මෛත්‍රීපාලට පමණක් යැයි කීම” සත්‍යයෙන් තොරයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්‍ටුව ඉහළින්ම දිනූ පසුව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස ‍රැල්ල තියෙන පැත්තට පනිනු ඇත. එසේම ඊළඟ පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ පැත්තට එනු ඇත. (පාර්ලිමේන්තු ඔලු මාරුව අපි පිළිකුල් කළද මේ ජරාජීර්ණ වූ දේශපාලනයේදී ප්‍රජාත්‍රන්තවාදය අනුව යමින් රට බේරා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත). ජන මතයක් නොමැති ආණ්ඩුවකට වැඩ කරන්නට රාජ්‍ය නිලධාරීන් අකමැති වෙනු ඇත. ජනමතයක් නැති ආණ්ඩුවේ නියෝගය පිළිගන්නට ආරක්ෂක අංශ අකමැති වෙනු ඇත. ජනමතයක් නැති ආණ්ඩුවකට ණය දෙන්නට ජාත්‍යන්තරය අකමැති වෙනු ඇත. ජනමතයක් නැති ආණ්ඩුවක් සමග ගීවිසුම් ගැසීමට ආයෝජකයන් අකමැති වෙනු ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්‍ටුව ජය ගත් පසුව ආණ්ඩුවට ඇති එකම විකල්පයනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. ආණ්ඩුව වෙනස් වූ විට ව්‍යවස්ථාව ගෙන ඒමත් නතර වෙනු ඇත. මේ ආණ්ඩුව තිබියදී ආණ්ඩුව වෙනස් කිරීමක් ගැන නොසිතා ව්‍යවස්ථාව පරාජය කිරීමට උත්සාහ දැරීම යනු ආණ්ඩුව දිගටම කරගෙන යන්නට අවස්ථව ලබා දීමකි. ඒ අනුව “2020 ට කළින් රනිල්ව එලවිය හැක්කේ මෛත්‍රීපාලට පමණක් යැයි කීම” මෛත්‍රීපාල පාර්ශවය විසින්ම කරන ව්‍යාජ තර්කයකි. කවරෙක් හෝ එම ව්‍යාජ තර්කය නගන්නේනම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෛත්‍රීපාල සමග එක්ව සිටියි.

3. මැතිවරණය ගැන නොසිතා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමගි වියයුතුයි කියන අය මෛත්‍රීපාල යනු පොරොන්දු නොරකින, කට ඇරියොත් බොරු කියන, මේ මොහොතේදීත් තම තනතුරේ ගෞරවය පවා නොසලකමින් රනිල්ව රකින අයෙක් බව අමතක කරයි. ඔහු මීට පෙර කල දෑ අමතක කළද වෙනකක් තියා මේ මාසයේදීත් මහ බැංකු බැඳුම්කර හොරකමේ කොමිෂන් වාර්තාවේ පි‍ටු 103 කුත් සඟවමින් රනිල්ව ආරක්ෂා කර ඇති බව ඔහුගේම ප්‍රකාශයකින් සනාථ විය. [විස්තර]. ඔහු බැඳුම්කර පිළිබඳ විවාදය පෙබරවාරි 8 වෙනිදාට දැම්මේත් එය මැතිවරණ නීතිය අනුව අවසන් දින 3 හි ප්‍රචාරය කළ නොහැකි නිසා එය ප්‍රචාරය වීම වැළකී රනිල්ට අවාසියක් වීමෙන් බේරා ගැනීමට ය. [මූලාශ්‍රය].  එසේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දින වල රනිල්ට බනින්නේත් බොරුවට බවත්(එජාපයෙන් කැඩෙන ඡන්ද ‍රැක රන්න)  10 වෙනිදායින් පසුව ඔවුන් එක් වන බවත් එජාපයේම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. [මූලාශ්‍රය]. එවන් පුද්ගලයෙක්ව විශ්වාස කර සමගි වීමට හැදීම යනු සියතින් ගෙල සිඳ ගැනීමකි.

4. මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් රනිල්ව එලවනු ඇති බව සිතිමත් හුදු හිතලුවකි. මෛත්‍රීපාලට ඇත්තටම එජාපය කෙරෙහි විවේචනයක් තිබේනම් පළමුව කළ යුත්තේ ශ්‍රීලනිපය, එජාප ආණ්ඩුවෙන් ඉවත් කරගැනීමයි. ජාතික ආණ්ඩුව යැයි කියන ගීවිසුම අවසන්ව තිබියදීත් අදටත් ව්‍යවස්ථා විරෝධීව ව්‍යවස්ථාවට පිටින් අති විශාල ඇමති මණ්ඩලයක් දරමින් ආණ්ඩුවේ ‍රැඳී සිටියි.

5.  මේ දින වල මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් එජාපය විවේචනය කරමින් සිදු කරන්නේත් එජාපය ‍රැක ගැනීමේ කොන්ත්‍රාත්තුවකි.
(i). මෛත්‍රීපාල එජාපයට බනින විට ඡන්දය නොදීමට තීරණය කර සිටින එජාප පාක්ෂිකයන්ට, තමන් විසින් පත් කර ගත් නමුත් තමුන්ට කෙලවන මෛත්‍රීපාලට පාඩමක් උගන්වන්නට සිතා අලියාට කතිරේ ගහන්නට සිතේ.
(ii). මෛත්‍රීපාල එජාපයට බනින විට පොහොට්‍ටුවට ඡන්දය දීමට සිටින එජාප විරෝධී නමුත් එතරම් දේශපාලන විචක්ෂණයකින් තොර ශ්‍රීලනිප පාක්ෂිකයන්ට, පොහොට්‍ටුවට නොව ශ්‍රීලනිපයට කතිරේ ගහන්නට සිතේ.
මෛත්‍රීපාල එජාපයට බනින්නේත් එජාපය් රකින්නට බව ලක්ෂ්මන් කිරිඇල්ලගේ කතාවෙන් වත් තේරුම් ගත යුතු ය. [මූලාශ්‍රය].

එනිසා රනිල්ව එලවීමට කියා කවුරුන් හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක් වන්නට කියන්නේ නම් හෝ, මෛත්‍රීපාලව ශක්තිමත් කරන්නට කියන්නේනම් ඔවුන් එන්නේ මොකාට දැයි දැන් ඔබ හොඳාකාරවම දනී.

සාමය යනු සතුරාගේ අවසන් යුධ උපක්‍රමයයි. මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්තවාදීන් සමග සාම සාකච්ඡා කළ යුතු බවට එන්ජීඕ කාරයින් විසින් දකුණේදී පවසන ලදී. තුවක්කුවක් මතුපිට කතිරයක් ගැසූ යුධ විරෝධී ස්ටිකරයක් සහිත එන්ජීඕ වල සුපිරි මෝටර් රථ අපි කොළඹ පුරා දු‍ටුවෙමු. නමුත් ඔවුන්ගෙන් එදා ගෝඨාභය රාජපක්ෂ අරාක්ෂක ලේකම් තුමා ඇසුවේ එකම එක ප්‍රශ්නයකි. ඔවුන්ට එයට පිළිතුරු නොතිබුණි. එම ප්‍රශ්නනම් “දකුණේ අපිට යුධ විරෝධිය උගන්වන ඔබ, කිලිනොච්චියේදී ඒවා නොකියන්නේ ඇයි?”

අන්න ඒ ආකාරයෙන්ම අපි මේ ප්‍රශ්නයත් අසමු… “මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග සමගි වන්නට හෝ ඔහුව ශක්තිමත් කරන්නට කියන අය, වැරදිලාවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියන්නේ නැත්තේ ඇයි? වතාවක් මෛත්‍රීපාල සමග මහ මැතිවරණයට එකතු වෙලා වුණ දේ දැක්කනේ. ඒ නිසා ඉස්සෙල්ල කියන්න මෛත්‍රීපාලට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. මෛත්‍රීපාල ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ අපිට මෛත්‍රීපාල සමග එකතු වීම ගැන කියන්න එන්න…”

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply