Mahinda Rajapaksa: September 2017

Thursday, September 14, 2017

සිල් රෙදි ව්‍යාපෘතියේ මුල සිට අගටම මෙන්න.. මහින්ද රාජපක්ෂ මැතිතුමා සියල්ල පහදයි..


මාධ්‍ය නිවේදනය: සිල් රෙදි ව්‍යාපෘතිය

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 වගන්තියට අදාලව වරදකරුවන් බවට මහාධිකරණය විසින් තීන්දු කර ඇත. මෙහිදී චෝදනාව වූයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමකට බැරකර සිල්රෙදි බෙදා දීම සඳහා සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙන බවයි. මේ සඳහා මෙම නිලධාරීන් දෙදෙනාට ලැබී ඇති දඩුවම වන්නේ බරපතල වැඩ ඇතිව අවුරුදු තුනක සිර දඩුවමක් සහ එක් අයෙකුට රුපියල් මිලියන 02 බැගින් දඩයකි. එයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමට එක් අයෙකු රුපියල් මිලියන 50 බැගින් වන්දියක් ගෙවිය යුතු වන අතර එම මුදල ගෙව්වේ නැතිනම් තවත් අවුරුදු 02ක බරපතල වැඩ ඇතුව සිර දඩුවම් නියම වෙනු ඇත. මේ කාරණය ගැන බොහෝ අය මගෙන් විමසා සිටින නිසා මේ සම්බන්ධයෙන් මගේ අදහස් ජනතාව ඉදිරියේ තැබිය යුතු යැයි සිතමි.

මේ නඩු තීන්දුවෙන් හා දඩුවමෙන් මුලු රමට විමතියටත් කනස්සල්ලටත් පත් වී ඇත. ලලිත් වීරතුංග හෝ අනූෂ පැල්පිට සිල්රෙදි මිලදී ගැනීම සඳහා යොදවා ඇති මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ලබාගෙන නැති බව නඩු තීන්දුවේම සඳහන් වේ. මගේ දෘෂ්ඨිකෝණයෙන් බලන කල මොවුන් කර ඇත්තේ රටේ ජනාධිපතිවරයා විසින් ඔවුන් වෙත ලබාදුන් නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීම පමණි. මා විසින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් ලබා දී තිබූ වාචික උපදෙස් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවල වෙනත් නිලධාරීන්ගේ දැනගැනීම පිණිස සිය අත් අකුරින්ම තබා ඇති සටහන් වලින් පැහැදිලි වේ. 2014 මාර්තු 20 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අවධානය පිණිස තබන ලද ලිඛිත සටහනක ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුම යටතේ 2014 වසර තුළ ‍සිදුකල යුතු බවට මා විසින් නියෝග දුන් ව්‍යාපෘති අටක් පිළිබඳ විස්තර සටහන් කොට ඇත.

මේ ලැයිස්තුවේ 6 වෙනි අංගය වූයේ පෝය දිනවල පන්සල් වල සිල් ගන්නා බැතිමතුන්ට ද්‍රව්‍යමය ආධාර සැපයීමේ ව්‍යාපෘතියකි. එම ලැයිස්තුවේ තිබුණු සෙසු අංග අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයට හා කලින් මායිම් ගම්මාන වශයෙන් හැඳින්වූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ඉදි කිරීමට ආධාර කිරීම වැනි ව්‍යාපෘති විය. 2014 මැයි 12 වනදා වීරතුංග මහතා සිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට සටහනක් තබමින් පවසා සිටියේ පෝය දිනවල සිල් ගන්නා බැතිමතුන්ට සිල්රෙදි බෙදා දිය යුතු බවට මම උපදෙස් දී ඇති බවයි. මේ ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ කලකට පෙරය. වසරකට රුපියල් මිලියන 1,000 ක මුදල් ප්‍රතිපාදනයක් සහිතව 2012 දී ආරම්භ කරන ලද ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ කාර්යභාර්ය වූයේ වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල වැඩසටහන් වල හිඩැස් පිරවීම හා ජනාධිපතිවරයාට ඍජුව කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමයි. මේ යටතේ ආරම්භ වූ සිල්රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධූරය දැරෑ වටිනාපහ සෝමානන්ද හිමියන්ය.

සෝමානන්ද හිමිගේ ඉල්ලීම පරිදි සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් රටපුරා පන්සල් වලින් සිල්රෙදිවල අවශ්‍යතාවය සමීක්‍ෂණය කරනු ලැබුවේ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසිනි. සිල්රෙදි සපයන පුදගලික කොන්ත්‍රාත්කරුවන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නම් කරන ලද එක් ප්‍රධාන පන්සලකට මේ සිල්රෙදි භාර දෙනු ලැබූ අතර, සෙසු පන්සල් මේ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් තමන්ට අදාල සිල් රෙදි ප්‍රමාණය ලබා ගැනීම මෙහි ක්‍රමවේදය විය. මෙය පන්සල් 11,021 ක සහභාගීත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ලද ව්‍යාපෘතියකි. මෙකී සිල්රෙදි සපයන ලද්දේ පන්සල්වලට මිස ඡන්ද දායකයන්ට නොවේ. සිල්රෙදි පන්සලට ලැබුණු පසු එම සිල්රෙදි බෙදා දෙන්නේ කවදාද, කේසේද, කාටද යන්න තීන්දු කරනු ලැබුවේ විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදිය. අසවල් දිනට පෙර මේ සිල්රෙදි බෙදා දිය යුතු යැයි පන්සල් වලට කිසිදු උපදෙසක් ලබාදී තිබුනේ නැත. විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදි එම සිල්රෙදි එක්කෝ එවෙලේම නැතිනම් අවුරුද්දකට පසුව වුවද බෙදා දිය හැකි විය.

බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ දේශපාලන කාරණා මත සිල් රෙදි ලාභීන් තේරීමට කිසිඳු අවස්ථාවක් නොවීය. පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය යටතේ නිල ඇඳුම් බෙදා දෙන්නේද අවුරුද්දේ අන්තිමට වන අතර ඡන්දයක් තිබුණත් එය නැවැත්විය නොහැක. ඡන්දයක් පවතින අතර පාසල් නිල ඇඳුම් බෙදා දීමෙන් ඡන්දයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබෙනවා යැයි කිසිවෙකුවත් කියන්නේ නැත. මෙම සිල් රෙදිද පාසල් නිල ඇඳුම් මෙන්ම බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදා දෙනු ලැබූ රාජ්‍ය ආධාර විය. මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහාද යොදාගනු ලැබුවේ ආන්ඩුවේ පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියේ පුද්ගලික සැපයුම්කරුවන්ම බවද සැලකිය යුතුය. වැඩිහිටියන්ට පමණක් නොව පෝය දිනවල සිල් ගන්නා දහම් පාසල් සිසුන්ටද සිල්රෙදි ලබාදෙනු ලැබීය. මෙකී සිල්රෙදි පැකැට්ටුවේ, “මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් කරන දහම් පඞුරක්” කියමින් ලේබලයක් තිබුණු බව මෙම නඩු තීන්දුවේ සඳහන්ය.

නමුත් මෙය මේ සිල්රෙදි ලැබෙන්නේ කොතනින්දැයි පෙන්වන ලේබලයක් පමණක් මිස 1981 අංක 15 දරණ ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද සමයේ මුද්‍රිත පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමට අදාල 72 හා 68 (1)(ඉ) වගන්ති උල්ලංගනය කරන්නක් නොවේ. ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද දායකයන්ට ‘සංග්‍රහ’ කිරීමට අදාල 77 වන වගන්තියද මීට අදාල නොවන්නේ මේ සිල්රෙදි සපයනු ලැබුවේ පන්සල් වලට මිස ඡන්ද දායකයන්ට නොවන නිසාය. එමෙන්ම මේවා බෙදා හැරීමට කිසිඳු කාල වකවානුවක් ලබාදී නොතිබුණු අතර දේශපාලන භේද නොතකා සියලු පන්සල් හා බෞද්ධ බැතිමතුන් ආවරණය වන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙය ඡන්ද සමයේ පොදු දේපල අවභාවිතය සම්බන්ධ නඩුවක් හැටියට හුවා දැක්වීමට ඇතැම් අය උත්සාහ ගත්තද ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට එරෙහිව ඡන්ද නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ගොනුකරනු ලැබුව නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ අංක 164(4) වගන්තිය අනුව, යම් චූදිතයෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඔවුන්ට දඩුවම් පැමිණවිය හැකි වරදට අදාල නිතිය පැහැදිලිව සඳහන් විය යුතුය. නමුත් එවැන්නක් මෙහිදී සිදුවී තිබෙන බවක් නොපෙනේ.

මේ ව්‍යාපෘතිය සඳහා මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට සිදුවුයේ ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීමට සිදුවීම නිසාය. 2014 ඔක්තෝබර් 14 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලලිත් වීරතුංග මහතාට සටහනක් යොමු කරමින් පවසා සිටියේ 2014 වසර සඳහා ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදනයක් බවත්, එයින් රුපියල් මිලියන 400 ක් කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ ව්‍යාපෘතියකට දීමට සිදු වී ඇති නිසා සිල්රෙදි ව්‍යාපෘතියට ප්‍රමාණවත් මුදල් නොමැති බවයි. මෙයට පිළිතුරු දෙමින් 2014 ඔක්තෝබර් 15 වන දා සටහනක් තැබු ලලිත් වීරතුංග පවසා සිටියේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට යැවිය යුතු මුදල් ඔවුන්ට ලබා දිය යුතු බවත්, සිල්රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් පසුව ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගන්නා බවයි. 2014 ඔක්තෝබර් 30 වනදා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිපියක් ලියමින් වීරතුංග මහතා පවසා සිටියේ මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගැනීමට තීන්දු කර ඇති බවයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට එදිනම මාණ්ඩලික පත්‍රිකාවක් සකස් කරමින් මේ සඳහා විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට කටයුතු කලේය. මේ මාණ්ඩලික පත්‍රිකාවෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවසරය ඉල්ලා සිටිනු ලැබුවේ, (1) ආර්ථික ප්‍රතිපාදනයක් හැටියට විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජසේවා ගිණුමට රුපියල් මිලියන 600ක් වෙන් කිරීමටත් (2) මෙකී රුපියල් මිලියන 600 ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබා දීමටත් (3) මෙකී මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජ සේවා ගිණුම හරහා වැය කිරීමටත් යන කාරණා තුන සඳහාය. මෙකී මාණ්ඩලික පත්‍රිකාව 2014 දෙසැම්බර් 15 වනදා පවත්වනු ලැබූ අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර එම යෝජනා තුනම කොමිසම විසින් ඒකමතිව සම්මත කරන ලදී. 2014 දෙසැම්බර් 5 වනදා අදාල මුදල විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට යවා තිබුණි. 2014 දෙසැම්බර් 29 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට සටහනක් ලියමින් ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ 2015 වසර සඳහා මුදල් ප්‍රතිපාදන ලැබුණු විගස අදාල මුදල විදුලි සංදේශ නියාමන කොමිසමට ප්‍රතිපූර්ණ කල යුතු බවත් 2015 පළමු කාර්තුව ඇතුලත අඩුම වශයෙන් රුපියල් මිලියන 200ක් වත් එසේ ලබාදීමට කටයුතු කල යුතු බවයි.

1996 අංක 27 දරණ පනතින් සංශෝධිත 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22ඊ(3) වගන්තියට අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම කොමිසමේ ඕනෑම වියදමකට අනුමැතිය දීමට බලය ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල් රෙගුලාසිවල අංක 218,115,65,66,68,93 හා 94 යන වගන්ති වලට අනුව ඒ ඒ අමාත්‍යංශ වල ‘ප්‍රධාන ගිණුම් තබන නිලධාරීන්ට’ තමා යටතේ තිබෙන එක් ආයතනයකින් තවත් ආයතනයකට ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත මුදල් ලබා දීමට බලය ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිණුම් තබන නිලධාරියා වූයේ ලලිත් වීරතුංග මහතාය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට හා ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරයාට ලලිත් වීරතුංග මහතා ලියා තිබුණු සටහන් උසාවියට ඉදිරිපත් කර තිබුණද තීන්දුව දීමේදී ඒ ලිඛිත සාක්‍ෂි මහාධිකරණය විසින් සැලකිල්ලට ගෙන නැත.

පැමිණිලි පාර්ශවය විසින් චූදිතයන්ට එරෙහි නඩුව ඔප්පු කිරීමට සාක්‍ෂි කරුවන් 21 දෙනෙකු උසාවියට ඉදිරිපත් කරන ලදී. මෙසේ පැමිණිල්ල විසින්ම ගෙන එන ලද සාක්‍ෂිකරුවන් ගණනාවක්ම, එනම්, පිළිවලින් අංක 13,20,15,04,14 හා 5 දරණ හේවගේ එමාලි ප්‍රියංකර, රුවනි සෞම්‍යා ගුණරත්න, වටිනාපහ සෝමානන්ද හිමි, සපුතන්ත්‍රිගේ චන්ද්‍ර ජගත්, මල්ලිකා කංකානම්ගේ ජයන්ත හා අමරසිංහ ලේකම්ලාගේ දොන් ගුණරත්න යන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් මේ නඩුවේ චූදිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සේවය කර ඇති බවත්, ඔවුන් මේ සිල්රෙදි ව්‍යාපෘතියටද සම්බන්ධ බවත්, ඔවුන් චූදිතයන්ට ලැදියාවක් ඇතුව සාක්‍ෂි ඉදිරිපත් කර ඇති බවත් කියමින් මහාධිකරණය ඔවුන් දුන් සාක්‍ෂි සැලකිල්ලට ගෙන නැත. මේ සාක්‍ෂිකරුවන් විත්තිය විසින් ගෙන එනු ලැබූ සාක්‍ෂි කරුවන් නොව පැමිණිල්ලේ සාක්‍ෂි කරුවන්ම වීම මෙහිදී සුවිශේෂ වෙයි.

මේ පූර්වාදර්ශය සියලුම රාජ්‍ය සේවකයන්ට ගැටළුකාරී තත්වයක් ඇති කරයි. උදාහරණයක් වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවකයකු ක්‍රියාපටිපාටි උල්ලංගනය කිරීමේ චෝදනාවක් මත උසාවියට ඉදිරිපත් කරනු ලැබුවහොත්, එවැනි චූදිතයෙකුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට නැතිනම් නිශ්ප්‍රභා කිරීමට හැකි වන්නේ රේගු දෙපාර්තමේන්තුව තුලින්ම ලබා ගන්නා ලිඛිත හා වාචික සාක්‍ෂි වලට අනුවයි. රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටි හා භාවිතයන් පිළිබඳ විස්තර වෙනත් ආයතන වලින් ලබාගත නොහැක. මෙවැනි අවස්ථාවල, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් පවා සපයන සාක්‍ෂි, ඔවුන් වූදිතයන් සමඟ එකට සේවය කර තිබෙනවාය, එම නිසා ඔවුන් චූදිතයන්ට ලැදියාවක් දක්වනවා විය හැකිය යන පදනම මත එම සාක්‍ෂි සැලකිල්ලට ගැනීමෙන් වැලකී සිටිනවා නම්, මෙවැනි නඩුවල චූදිතයන්ට කිසිදා තමන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට නොහැකිවෙනු ඇත. ලලිත් වීරතුංග මහතා එකල රටේ සිටි ඉහලම රාජ්‍ය නිලධාරියා වුවද, ඔහු තමා යටතේ සිටි නිලධාරීන්ට තම අත් අකුරින්ම ලියූ සටහන් හා නියෝග උසාවිය විසින් සැලකිල්ලට නොගෙන තිබීමද කාගෙත් අවධානයට යොමු වෙනු ඇත.

මෙය පූර්වාදර්ශයක් බවට පත්වුවහොත් යම් චෝදනාවක් මත උසාවියකට ඉදිරිපත් කරනු ලබන කිසිදු රජයේ සේවකයකුට තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ක්‍රමයක් නැතිවනු ඇත. විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් අනන්‍ය හා සම්පූර්ණ බලය ඇත්තේ එම කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට වුවත්, 2014 දෙසැම්බර් 15 වැනි දින අනූෂ පැල්පිට මහතාගේ මාණ්ඩලික පත්‍රිකාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබීමද උසාවිය සැලකිල්ලට ගෙන නැත. මේ හේතුවෙන් අධ්‍යක්‍ෂ මණ්ඩල හරහා පාලනය වෙන පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ආයතනවල කටයුතු දැඩි අවිනිශ්චිතතාවයකට ලක්වීම වැලැක්විය නොහැක.

ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට දැඩි දඩුවම් පනවා ඇත්තේ ඔවුන් අල්ලස් ලබාගත් නිසාවත්, දූෂනයේ යෙදුණු නිසාවත් නොව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම ආරක්‍ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අදාල 9 වන වගන්තිය යටතේ ආණ්ඩුවට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පන්සල් වලට සිල්රෙදි බෙදා දිමට රාජ්‍ය නායකයා විසින් දෙනු ලැබූ නියෝගයක් පිළිපැදීම නිසාය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුව මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයාද ඇතුලත් කැබිනට් මණ්ඩලය විසිනි. රජයේ සේවකයන් විසින් සිදුකරනු ලබන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සද්භාවයෙන් කටයුතු කිරීමයි. තමන් හොබවන තනතුර භාවිතා කර පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ චෝදනා නැතිනම් ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Tuesday, September 5, 2017

සරත් ෆොන්සේකාට කරුණා අම්මාන් ගෙන් කට උත්තර නැති වෙන්න පිළිතුරු.


[1]. පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට එරෙහිව එවකට විපක්ෂයෙන් එල්ල කළ චෝදනාවක් වූයේ සරත් ෆොන්සේකාව හිරේ දැමීමත් කරුණා අම්මාන්ට ඇමති කමක් දීමත් යන කාරණාවයි. මේ චෝදනාවේ ඇත්ත නැත්ත අපි විමසා බලමු.

[2]. සරත් ෆොන්සේකා එල්ල කළ චෝදනාව.

(i). මීට දින කිහිපයකට පෙරදී සරත් ෆොන්සේකා ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පැවසූයේ ජගත් ජයසූරිය මහතා යුද පෙරමුණේ අත් අඩංගුවට ගන්නා අයට අදාලව අපරාධ කළ බවට තොරතුරු ලැබුණ බවත් ඊට අදාලව සාක්ෂි දෙන්න තමන් සූදානම් බවත් ය. එහි වීඩියෝව පහතින්.



(ii). නමුත් ඉහත සරත් ෆොන්සේකා එල්ල කරන චෝදනාව පට්ට පල් බොරුවක් බව බැලූ බැල්මටම වටහා ගැනීමට පහත තර්ක 2 ප්‍රමාණවත් ය. එනම්, 1. ජගත් ජයසූරිය මහතාට එරෙහිව එකදු හෝ අපරාධමය සාක්ෂියක් තිබේනම් සරත් ෆොන්සේකා මාධ්‍ය වෙත පැමිණ ඒවා ගැන කියනවා වෙනුවට පසුගිය අවුරුදු 2 තුළදී යුධ අධිකරණයේ නඩු පැවරීමට තිබුණි. 2. පසුගිය අවුරුදු 2 පුරාවටම ජෙනරල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලයේ තානාපති ලෙසේ සේවය කළේය. එතුමා කිසියම් අපරාධයක් කළ බවට සරත් ෆොන්සේකා සැකයක් හෝ තිබුණානම් ඔහු ඒ ගැන ඔහුගේම නායකයින් වන ජනපති අගමැති දැනුවත් කරන අතර එවිට එම තානාපති තනතුර ඔහුට දරන්නට වන්නේ නැත.

(iii). සරත් ෆොන්සේකා මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් දරන ඉහලම නිලය වන ෆීල්ඩ් මාෂල් නිලය දරයි. ඊට අමතරව ඔහු කැබිනට් ඇමතිවරයෙකි. රටේ පවතින්නේ ඔහුට සහය දෙන ආණ්ඩුවකි. රටේ අගවිනිසුරුවරයාගේ සිට නීතිපතිවරයා දක්වා ඔහුට සහය දෙන ආණ්ඩුවෙන් පත් කළ නිලධාරී ය. ඔහු කියන චෝදනා ඇත්තක්නම් මාධ්‍ය වෙත පැමිණ චරිත ඝාතන සිදු නොකොට පසුගිය දෙවසර තුළ ලෙහෙසියෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තිබුණි. එසේ කළේ නැත. ඒ වෙනුවට ජගත් ජයසූරිය මහතා කිසිදු චෝදනාවක් නොමැතිව තානාපති සේවාවේ නියැලෙමින් රටට සේවය කළේය. ඒ අනුව සනාථ වන්නේ සරත් ෆොන්සේකා පවසන්නේ නීතිය ඉදිරියේ ඔප්පු කළ නොහැකි ඔහුගේම හිතලුවක් බවයි.

(iv). සරත් ෆොන්සේකා විසින් එම චෝදනාව එල්ල කරන්නේ බ්‍රසීලයේදී ජෙනරල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව කොටි සංවිධානයට සහය දෙන විදේශික ඩයස්පෝරා පිරිසක් විසින් නඩු පැවරීමෙන් අනතුරුවයි. එසේනම් සාක්ෂි නොමැති වුවද ශ්‍රී ලංකාවේ සිටින ෆීල්ඩ් මාෂල් වරයාගේ ඉහත ප්‍රකාශය පමණක් සාක්ෂියක් ලෙස අදාල නඩුවේදී ඉදිරිපත් වෙනු ඇත. ඒ අනුව සරත් ෆොන්සේකා කටයුතු කරන්නේ කා වෙනුවෙන් දැයි පැහැදිළි වෙයි.

[3]. කරුණා අම්මාන්ගෙන් සරත් ෆොන්සේකාට පිළිතුරු.

(i). සරත් ෆොන්සේකාගේ එකී දේශද්‍රෝහී ප්‍රකාශයට පිළිතුරු ලෙස කරුණා අම්මාන් 2017/09/04 දිවයින පුවත්පතෙන් පවසා ඇත්තේ මෙයයි. මූලාශ්‍රය මෙතනින්.

(ii). එසේම 2015 පෙබරවාරි  27 ලංකාදීප පුවත්පතෙන් කරුණා අම්මාන් පවසා ඇත්තේ පසුගිය යුද්ධයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ සිදු නොවූ බවයි. මූලාශ්‍රය මෙතනින්.

මහින්ද යුගයේදී මෙන් තමන්ට නිසි දේශපාලන රැකවරණයක් නොමැතිවද කරුණා අම්මාන් පවසන ඉහත ප්‍රකාශ දෙස බැලීමේදී, ඔහු සහ සරත් ෆොන්සේකා අතර වෙනස පැහැදිළියි නේද?

[4]. සරත් ෆොන්සේකා සිය ඉහත ප්‍රකාශයට අමතරව තවත් බරපතල කටයුතු කීපයක්ම සිදු කර තිබේ. යහපාලන වෙබ් අඩවි වල මෙන් මඩ නොව, මූලාශ්‍ර වීඩියෝ සහිතවම එම ප්‍රකාශ පහතින්...

(i). ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුණත් වෙඩි තියන්න ආදී ලෙස ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දුන් බව පවසයි.



(ii). සුදු කොඩි කතාවෙන් නොනැවතී ඔහු පැවසූයේ පුදුකුඩි ඉරිප්පු හි ඉස්පිරිතාලයකට වැරදීමකින් මෝටාර් දැමූ බවයි. කොටින්ගේ එම මඩ චෝදනාව ඔප්පු කරගැනීමට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදී සරත් ෆොන්සේකා විසින් සිදුකළ දෙවන පාවාදීම එයයි.



(iii). ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි පවසයි. මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.



(iv). යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි. සරත් ෆොන්සේකා සිරගත වීම ගැන කණගාටු වෙන අයට පහත වීඩියෝවෙන් තම සිරගත වීම සාධාරණීකරනය කරමින් ඔහුම පිළිතුරක් ලබා දී තිබේ.



මානුෂික මෙහෙයුමේ මුල් භාගය සිදුවූයේ සරත් ෆොන්සේකා නොමැතිව යි. බෝම්බ ප්‍රහාරයකින් අසාධ්‍යව සිටි සරත් ෆොන්සේකාව සිංගප්පූරුවට යවා ප්‍රතිකාර කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙනි. එසේම මානුෂික මෙහෙයුම ආරම්භ වෙද්දී සරත් ෆොන්සේකා සිටියේ ලෙඩ ඇඳේ වන අතර කාලයක් ගත වෙන තුරු ඔහුට හරියට කතා කරගැනීමටවත් නොහැකි විය. එසේ වූයේ ඔහු යුද බිමේ දැක්වූ වීරක්‍රියාවක් නිසා නොව, තමන්ගේම ආරක්ෂක දුර්වලතාවයක් නිසා කොළඹ අධි ආරක්ෂක කලාපයේ පිහිටි තම මූලස්ථානය තුළට පැමිණි කොටි කතකගෙන් බෝම්බ කෑමෙනි. යුද බිමේ දක්ෂතා දැක්වූ සෙන්පතියන් කෙරෙහි වෛර කිරීමට එය ද හේතුවක් විය හැකිය.

[5]. මානුෂික මෙහෙයුම අතරතුරදී කරුණා අම්මාන්ට ඇමති කමක් දීම හරහා යුද උපක්‍රම ගණකාවක් සිදුවිය. ඒවායින් හෙළි කළ හැකි කරුණු කිහිපයක් පහත දැක්වේ.

(i). මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පැවසූයේ යටත් වීමට කැමති කොටි සාමාජිකයන්ට ආයුද බිම තබා යටත් විය හැකි බවය. එවකටත් කොටි සංවිධානයෙන් විරසකව සිටි කරුණා අම්මාන් ඇතුළු පිරිස සේනාධිනායකවරයාගේ දේශපාලන ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයටට පක්ෂපාතීව එකතු වුණි. එවිට තමන් කළ දේශපාලන ප්‍රකාශය ඔප්පු කරමින් තවත් යටත් වෙන අයට දිරි ගැන්වීමක් වශයෙන් කරුණා අම්මාන්ට රජයේ ඇමති ධූරයක් ලබා දුනි.

(ii). යුද්ධයකදී තීරණාත්මක කාර්යභාරයක් Psychological warfare (PSYWAR) සිදුකරයි. එය අතිශය සංකීර්ණ විශයක් වන අතර ඒ ගැන වැඩිදුර කියවීමට මෙතනින්. යටත් වෙන සතුරන්ට වරප්‍රසාද ලබා දීම මගින් යටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සතුරන්ව යටත් වීමට දිරි ගැන්වීමත්, ඒ හරහා සතුරන්ගේ නායකත්වයට මානසිකව පහර දීමත් මෙහිදී සිදුකරන උපක්‍රමයකි.එය Rewards for Surrendered ලෙස හැඳින්වේ. Airborne leaflet propaganda මගින් ලෝකයේ බොහෝ යුද වලදී එය සිදුකළ හැටි මෙතනින්. හුදු නිදහස හෝ මුදල් ත්‍යාග මෙන් නොව රජයේ වරප්‍රසාද සහිත කැබිනට් ඇමති ධූරයක්ම ලබා දීම හරහා කොටි සංවිධානයට සිදුකළ මානසික ආතතිත දැඩි විය. එමගින් සාර්ථක ප්‍රතිඵල අත්වූ අතර, නම් වශයෙන් හෙළි කළ නොහැකි කොටි නායකයන් ඇතුළු බොහෝ පිරිසක් කරුණා ඇමති ධූරය ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා හමුදාවට යටත් වුණි. එමගින් කොටි සංවිධානය දුර්වල විය. එසේ නොවන්නට ශ්‍රී ලංකා හමුදාවන්ට ඒ සියල්ලම සහිත ශක්තිමත් කොටින් සමග යුද වැදීමට සිදුවෙන අතර, යුද ජයග්‍රහණය සිදු නොවීමට එය හේතු වෙනු ඇත.

(iii). කොටි සංවිධානය වෙනම රටක් ඉල්ලමින් නැගූ මූලිකම චෝදනාව වූයේ ශ්‍රී ලංකා රජය මගින් දමිළ ජනතාවට දේශපාලන නිදහසක් ලබා නොදෙන බවයි. ඔවුන් එසේ කළේ ශ්‍රී ලංකා රජයේ දමිළ අමාත්‍යවරුන් මෙන්ම දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිය දී ය. ඒ අනුව ඔවුන්ගේ චෝදනාව බොරුවක් වේ. ඒ අතර තුර කොටි සංවිධානයෙන් වෙන් වූ කරුණා අම්මාන් ට රජයේ ඇමති ධූරයක් ලැබීමත් සමග ඔවුන්ගේ චෝදනව පට්ට පල් බොරුවක් බවට පත් විය. එනම් ජාත්‍යන්තරයට ගිය මතය වූයේ කොටි ත්‍රස්තවාදියෙකුට වුවද ආයුධ බිම තැබීමෙන් රටේ දේශපාලන ප්‍රවාහයට එක් වී ඇමති ධුරයකට එක් විය හැකි තරම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවයි. එම හේතුව මත විදේශ රටවලින් කොටින්ට ලැබුණ බොහෝ ආධාර නැවැත්වීමට හැකි විය. එසේ නොවූවානම් ශ්‍රී ලංකා හමුදාවට යුද වැදීමට සිදුවන්නේ වඩාත් බරපතල ආයුධ තිබූ කොටි සමග යි.

(iv). ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ බරපතල මොළ ශෝධනයකට ලක් වී සිටි උතුරේ දෙමළ ජනතාවට නැවතත් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශ්වාසය ඇති කිරීම, එනම් පුනරුත්ථාපනය වෙන කොටි සාමාජිකයන්ටත් නැවතත් සිවිල් සමාජයට එක් විය හැකි බවට පෙන්වා දීම කරුණා අම්මාන්ට ඇමති ධූරයක් පිරිනැමීම මගින් සිදු විය.

(v). ශ්‍රී ලාංකික හමුදාවට එරෙහිව ව්‍යාජ චෝදනා නගන කොටි ඩයස්පෝරාවට සහ අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රභාකරන්ගේ සමීපතමයෙක්ව සිට දැන් ශ්‍රී ලංකාව ඇමති කමක් දරන අයෙක් ලවාම පිළිතුරු දී ඔවුන්ව ජාත්‍යන්තරයේදී කට උත්තර නැති කිරීම ත් සිදුවූ තවත් උපක්‍රමය කි. කරුණා අමාන් ඇමතිවරයක් ලෙස පාර්ලිමේන්තුවේදී කළ පහත කථාවෙන් ඒ බව මනාව පැහැදිළි වෙයි.



තවත් බොහෝ හේතු කිව නොහැකි වුවද ඉහත කාරණා ටික බැලීමෙන් පමණක්, "කරුණා අම්මාන්ට ඇමති කමක් දුන්නේ ඇයි" කියල අහන අයවලුන්ට යතාර්ථය අවබෝධ වෙනු ඇතැයි සිතමු. එසේම කරුණා අම්මාන්ට එරෙහිව යහපාලන දේශපාලඥයන් ඇස් දෙකෙන් දැක්කා මෙන් පවසන ත්‍රස්තවාදී ක්‍රියා එකක් හෝ ඇත්තනම් පහුගිය අවුරුදු 2 තුළ ඔවුන් කළ යුතුව තිබුණේ අදාල කරුණු වලට කරුණා අම්මාන්ට එරෙහිව නඩු පැවරීමයි. නමුත් එසේ කළේ නැත.