Mahinda Rajapaksa: ආණ්ඩුවට රට පාලනය කර ගත නොහැකි හේතුව මෙන්න.

Friday, January 5, 2018

ආණ්ඩුවට රට පාලනය කර ගත නොහැකි හේතුව මෙන්න.

නිවසකට එදිනෙදා අවශ්‍ය වන හාල් පරිප්පු දත් බෙහෙත් ආදිය අඩුම තරමින් සතියකට හෝ ‍රැස් කර ගැනීම ඕනැම නිවසක සිදු වෙන දෙයක්. ව්‍යාපාරික ආයතන පවා තමන්ට අවශ්‍ය වන කල් තබා ගත හැකි අමුද්‍රව්‍ය හෝ විකුණුම් ද්‍රව්‍ය අඩුම තරමින් සති දෙකකට හෝ ‍රැස් කර ගන්නවා. දැන් තෙල් හිඟයට හේතුව ආණ්ඩුවෙන් අඩුම තරමින් සති 2ක ට වත් තෙල් තොග ‍රැස් කර තබා නොගැනීමයි. මේකෙන් පේන්නේ සාමාන්‍ය නිවැසියෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට ඇති කළමනාකාරීත්ව දැනුමවත් මේ ආණ්ඩුවට නැති බවයි.

ඉන්ධන යනු රටක ජන ජීවිතයේ සහ ව්‍යාපාරික කටයුතු වල මූලික අවශ්‍යතාවයක්. යමෙක් රටක ඉන්ධන පාලනය කෙරේද, ඔහු මුළු රටම පාලනය කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී සෑම විටම මාස 3 කට අධික කාලයකට තෙල් තොර ‍රැස් කරගෙන තිබුණා. බලගතු රටවල් නම් වසරකට වඩා කාලයකට ඉන්ධන ‍රැස් කර තබා ගන්නවා. ඉතින් මේ ආණ්ඩුවට අවම වශයෙන් සති 1 කටවත් ඉන්ධන තොර ‍රැස් කර ගැනීමට නොහැකි වූ බවයි අපිට පෙනී යන්නේ. ආණ්ඩුවේ මෙම කළමනාකාරීත්ව දුර්වලතාවය නිසා අපේ රටේ ජනතාව 2017 අගදී දවස් 6 ක් ඉන්ධන නැතිව දුක් වින්දා.



නමුත් ජනතාව මෙසේ දුක් විඳිද්දී ආණ්ඩුවේ ඇමතිවරුන්ටනම් ඒ ප්‍රශ්න තිබුණේ නෑ. ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුවට විශේෂ තෙල් බවුසරයක් යවා තිබුණා. මේ තියෙන්නේ එහි පින්තූරය.



නොවැම්බර් 8 වෙනිදා රාත්‍රී 12 පසුවී විනාඩි 30 කින් නෙවෙස්කා ලේඩි නම් ඩුබායි සිට පැමිනෙන ඉන්ධන ප්‍රවාහන නෞකාව කොළඹ වරායට ළඟා වුණා. එහි ඉන්ධන තත්ත්ව පරීක්ෂාව සිදුකළේ පසුදා 11.30 ට පමණයි. ආණ්ඩුවට වුවමනාවක් තිබුණානම් මෙය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් තෙල් සංස්ථා සේවකයන්ට අතිකාල ගෙවා රාත්‍රියේදීම ඔවුන්ව කැඳවා මෙහි තත්ත්ව පරීක්ෂාව සිදු කිරීමට තිබුණා. ජනතාව විඳින දුක දන්නා තෙල් සංස්ථා සේවකයන් ඊට විරුද්ධ වන්නේ නෑ. ඒත් ආණ්ඩුවට එවැනි හැකියාවක් හෝ තිබුනේ නෑ.



ආණ්ඩුවේ මෙම කළමනාකරණ දුර්වලතාවයට හේතුව කුමක්ද කියල ඔබ සිතනවා ඇති. වත්මන් ආණ්ඩුව අවුරුදු 11 ක් හිටියේ විපක්ෂයේ. ඊටත් පෙර අවුරුදු 2 ක් රට පාලනය කළත් කළින් අවුරුදු 8 ක් හිටියේ විපක්ෂයේ. ඉතින් ඒ කාලයේදී ඔවුන් පුරුදු පුහුණු වුණේ ආණ්ඩුව විවේචනය කිරීම, මඩ ගැසීම, කඩාකප්පල් කිරීම, උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදියයි. දේශපාලන නායකයින් දවසෙන් බිහි වන්නේ නැ. 1994 සිටම එක්සත් ජාතික පක්ෂයට එක් වූ ජේෂ්ඨ නායකයින්ද 2004 සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ තරුණ නායකයින්ද දැක්වූයේ අන්න ඒ ආකාරයට විපක්ෂයේ සිටිමින් විවේචනය කිරීම, මඩ ගැසීම, කඩාකප්පල් කිරීම, උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදිය සඳහා දක්ෂතාවයක්. එජාප ආණ්ඪුවක් බිහි වූ පසුව ඔවුන්ට තනතුරු දෙනු ලැබුවා. එහෙත් ඔවුන් රටක් පාලනය කළ හැකි ආකාරය ගැන දන්නේ නෑ, ඔවුන් තාමත් කරන්නේ රාජපක්ෂවරුන්ට මඩ ගසමින් එදා වේල ගැට ගසා ගැනීමේ දේශපාලනයක්.

දැන් මේකේ අනික් පැත්තකුත් තියෙනවා. අපේ පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන චෝදනාවක් තමයි විපක්ෂයේ සීට්මින් ආණ්ඩුවට ගහනවා මදි කියන එක. ඊට හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා පසුගිය කාලයේ එක් රොක් වුණේ රට සංවර්ධන කිරීමට දක්ෂතාවය දක්වන එක් එක් ක්ශේත්‍ර වල වෘත්තිකයන් වීමයි. වර්තමානයේදී එතුමා වෙනුවෙන් ලිපි ලියන විද්වතුන් දෙස බලන්න, මේ අය එක් එක් ක්ෂේත්‍ර වල ප්‍රාමාණික වෘත්තිකයන් මිසක් මඩ ගහන අය නෙමෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රට සංවර්ධනය කළේ යම් සැලසුමකට අනුව. ඕනැම රටක සංවර්ධනයේ මූලික අඩිතාලම තමයි වරාය. දැන් කොළඹ නගරය ගත්තොත් එය එච්චර දියුණු වුණේ අන් කිසිවක් නිසා නොවෙයි, කොළඹ වරාය නිසා. අන්න ඒ ආකාරයට ලංකාවට දෙවැනි වරායක් හදන්න වඩාත් සුදුසුම තැන තමයි හම්බන්තොට. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කුරිරු යුද්ධය අවුරුදු 2.5 න් අවසන් කරලා හම්බන්තොට වරායක් හැදුවා. වරායට අවශ්‍ය වන ගුවන් ප්‍රවාහන පද්ධතිය සඳහා ඒ අසළින්ම මත්තල ගුවන්තො‍ටුපොළ හැදුවා. කොළඹ වරාය සමග හම්බන්තොට ඒකාබද්ධ කිරීම සඳහා දක්ෂින අධිවේගී මාර්ගය හැදුවා. අනතුරුව රටේ ප්‍රවාහන පහසුකම් වර්ධන කිරීම සඳහා උතුරු අධිවේගී මාර්ගය ඇතුළු තවත් අධිවේගී මාර්ග හැදුවා. අලුතෙන් ඇති වන ව්‍යාපාර සඳහා බලශක්තිය ලබාගැනීමට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හැදුවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් වැසි නැති කාල වන විට ජාතික විදුලිබල පද්ධතියට 50% කට වඩා විදුලිය ලබා දෙනවා. මේ එතුමා සිදුකළ දැවැන්ත සංවර්ධනයෙන් බොහොම සුළු ප්‍රමාණයක්.

ශ්‍රී ලංකාවේ තෙල් සැපයුමෙන් කොටසක් ඉන්දියානු සමාගමකට නතු වීම නිසා වුණ දේ රටම දැක්කානේ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් එමිරේට්ස් වෙත විකුණන ලද එයර් ලංකා එක නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් ශ්‍රී ලංකාවට මිලදී ගත්තේ ගුවන් ප්‍රවාහනය රජය සතු විය යුතු නිසයි. එසේම රවි කරුණානායක විකුණන ලද සතොස මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් නැවතත් රජයට මිලදී ගත්තේ රටේ ආහාර ද්‍රව්‍ය සැපයුමට මෙහෙයවා කලු කඩ පාලනය කිරීම රජය සතුව තබා ගත යුතු නිසයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් රජයට පවරා ගත්තේ රටේ රක්ෂණය රජය සතුව තබා ගත යුතු නිසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් ඇපලෝ රෝහල රජයට මිලදී ගත්තේ ශ්‍රී ලංකාවේ හදවත් රෝගීන්ට සනනදායී මිලට අදාල සැත්කම් කරගැනීමට අවකාශ සැලසීමටයි. පාඩු ලැබුවත් දුම්රිය හෝ ලංගම කිසිදා පෞද්ගලීකරණය නොකළේ ජාතික ප්‍රවාහනය රජය සතු විය යුතු නිසයි. මොකද මේ සියල්ලම රටේ ජනතාවගේ ජීවිතයට සෘජුවම බලපානවා.

කරු ජයසූරිය මහතා විදුලිබල සහ බලශක්ති අමාතයවරයා වශයෙන් 2002-2004 කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සිටින කාලයේ ඉන්දියානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම නිසයි අපේ රටේ තෙල් සැපයුමෙන් කොටස්ක් ඉන්දියාව සතු වුණේ. එවැනි සමහර අන්තර්ජාතික ගිවිසුම් පසුකාලීනව අවලංගු කිරීමට නොහැකියි. එසේ නොවන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අයි ඕ සී සමාගමත් රජයට මිලදී ගැනීමට ඉඩ තිබුණා. මේ ආණ්ඩුවෙන් කරන්නේ ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට විකුණලා දාන එක.

මේ ආණ්ඩුව ඉදිරි වසර 2 තුළදීත් සිදුකරන්නේ පසුගිය අවුරුදු 3 තුලදී කළ ආකාරයටම රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සහ දැනට තිබෙන ජාතික සම්පත් ටිකත් විකිණීම පමණයි. මොකද අප කළින් පෙන්වා දුන් ආකාරයට ඔවුන් වටා එක් වී ඇත්තේ මඩ ගහන්න පුලුවන් අය මිසක් වැඩ කරන්න පුලුවන් අය නෙමෙයි. ඉදිරි පළාත් පාළන මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව වහාම ගෙදර යැවීමේ වෙඩි මුරය පත්තු කළ යුතු වන්නේ අන්න ඒ නිසයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.