Mahinda Rajapaksa: බැඳුම්කර වාර්තාව ආණ්ඩුවෙන් විකෘති කරලා. මෙන්න සාක්ෂි...

Friday, January 19, 2018

බැඳුම්කර වාර්තාව ආණ්ඩුවෙන් විකෘති කරලා. මෙන්න සාක්ෂි...



[1]. මහබැංකු බැඳුම්කර හොරකමට එරෙහිව මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිට වුවද එහි ආණ්ඩුවට අවාසිදායී කොටස් ඉවත් කරමින් එය විකෘති කර ඇති බවට පැහැදිළි සාක්ෂි ලැබී තිබේ.

 

[2]. වාර්තාවේ අන්තර්ගතයෙන් කොටසක් ඉවත් කිරීම.

(i). බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් 2018/01/03 වැනිදා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් එම වාර්තාව පිටු 1257 කින් සමන්විත බව සඳහන් කළේය. එහි උදෘතය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්.
"2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්."  - විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2018/01/03

මූලාශ්‍රය: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය

(ii). නමුත් මේ වන විට අන්තර් ජාලයට මුදාහැර තිබෙන බැඳුම්කර වාර්තාවේ ඇත්තේ පිටු 1154 ක්‌ පමණි. [මූලාශ්‍රය]

(iii). ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශයට අනුව මේ වන විට එම වාර්තාවේ පිටු 103 ක්‌ අඩුවී ඇත.

 

[3]. බැඳුම්කර කොමිසමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැමිණ සාක්ෂි ලබා දුන්නද, එම වාර්තාවේ කොතනකවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගැන විශේෂ හැඳින්වීමක් නැත. (අවශ්‍යනම් ඉහත වාර්තාවේ Ranil , Wickramasinghe , Prime Minister ආදී නම් වලින් සර්ච් එකක් දමා බලන්න). එමගින් සහ පි‍ටු 103 ක් අඩු වී තිබීමෙන් සාධාරණ සැකයක් ඇති වන්නේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කොටස් එම වාර්තාවෙන් ඉවත් කර දමා ඇති බවයි.

 

[4]. බැඳුම්කර වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රිතුමා පැවසුවේය. [මූලාශ්‍රය]. ඒ නිසා අපට නැවතත් සාධාරණ සැකයක් ඇති වන්නේ රවි කරුණානායක මන්ත්‍රිතුමාට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත් කිරීමෙනුත් එලෙස පි‍ටු 103 ක් අඩු වීමට හේතු වූ බවයි.

 

[5]. බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙනු ලැබූයේ 2017 දෙසැම්බර් 30 වැනි දිනයි. [මූලාශ්‍රය]

නමුත් එය ජනතාව වෙත නිකුත් කරන්නේ 2018 ජනවාරි 17 වන දිනයි. [මූලාශ්‍රය]

"තොරතුරු දැනගැනීමේ පනත" පිළිබඳව කටමැත දෙඩුවද, මෙලෙස දින 18 ක් ප්‍රමාද වී වාර්තාව ජනතාව වෙත නිකුත් කළේ, අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීමට දින 18 ක් යාම, ස්කෑන් කිරීමට හෝ ෆොටෝකොපි ගහන්න දින 18 ක් යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දුව අවිශ්වාස නිසා එය කියවන්න දින 18 ක් යාම, වාර්තාවට ෆුට් නෝට් ගහන්න දින 18 ක් යාම,  වාර්තාව සංශෝධනය කිරීමට දින 18 ක් යාම ආදියෙන් කුමක් නිසාදැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු ය.