Mahinda Rajapaksa: උදයාංග වීරතුංග ඇමෙරිකාවට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමට කියන මඩ චෝදනාවට පිළිතුරු

Wednesday, February 7, 2018

උදයාංග වීරතුංග ඇමෙරිකාවට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමට කියන මඩ චෝදනාවට පිළිතුරු


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට බවත් වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොලේදී නතරකරවාගෙන ප්‍රශ්ණ කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹීමට පත්ව ඇති බවටත් ප්‍රකාශයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් කර ඇති බව පසුගියදා මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුනි.

මෙය පසුගිය වසර 3 පුරා රාජිත සේනාරත්න අමාත්‍යවරයා හා තවත් රජයට සම්බන්ධ විවිධ දේශපාලනඥයින් විසින් මා සම්බන්ධයෙන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශ ගොන්නට එක්වන තවත් එක් අභූත චෝදනාවක් පමනි. උදයාංග වීරතුංග මහතාට මා හමුවීමට විශේෂ අවශ්‍යතාවක් ඇතැයි මම නොසිතමි. ඔහුගේ පෞද්ගලික ගමන් මට අදාල නොවේ.

ඒ කෙසේ වෙතත් උදයාංග වීරතුංග මහතාගේ නම බාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රචාර වලට පිලිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වීරතුංග මහතා සිය කැමත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්කියක් ලබා දී තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිලිතුරු දීමයැයි මම කවදත් විශ්වාස කලෙමි. නීතිය අවනීතිය වී ඇති යුගයක, රජයේ මර්ධනය පිලිබඳ චකිතයකින් මෙම අභියෝගය මග හැර සිටීමෙන් වන්නේ රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයින්ට දිගින් දිගටම තම සුපුරුදු මඩ ප්‍රචාරයේ යෙදී සිටිමින් ජනතාව නොමග හැරීමේ අවස්ථාව තවදුරටත් ඉතුරුවීම පමනි.

පසුගිය වසර 3 පුරා මා අපකීර්තියට පත්කිරීම සඳහා වත්මන් රජය විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කරන ලදී. රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, අවන්ගාර්ඩ් නාවුක සේවා වැනි පරීක්ෂණ රාශියකදී මවිසින් සාක්කි ලබා දී ඇති අතර ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුන දීමට නොපැකිලෙමි. මෙතෙක් මට විරුද්ධව නැගූ කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නොහැකිවූ රජය තව දුරටත් අලුත් හේතු සොයමින් සිටිනා බව නම් පැහැදිලිය. රටට හැමදාමත් අවංකව සේවය කල මා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් බිය ගැන්වීමට හැකියැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම් එය සිහිනයක් පමනි. එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. රටට වැඩක් නොකර බොරුවෙන් හා මර්ධනයයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන රජයට ජනතාව සුදුසු අවස්ථාවේ පිලිතුරු දෙනු ඇත.

මීට අමතරව මෙවර ලංකාවට ආපසු පැමිනි පසු රජයේ බොරු චෝදනා හා අසත්‍ය ප්‍රචාර පිලිබඳ වැඩිදුර පැහැදිලිකිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.

- ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්)

තවත් අයටත් බලන්නට "Share" කරන්න.