Mahinda Rajapaksa: සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් විශේෂ නිවේදනයක්

Wednesday, March 7, 2018

සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් විශේෂ නිවේදනයක්



සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම

දිගන නගරයේ සිංහල ලොරි රථ රියදුරු මහතෙකුට මුස්ලිම් පිරිසක් විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හදුනාගැනීමේ පෙරෙට්ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්ඩුව විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකුගේ මෘත දේහයක් විනාශ වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක් සිදුවී ඇත. ආණ්ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත. නමුත්නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවය මේ නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විටත් තවම සමුපූර්ණයෙන්ම පහව ගොස් නැත. සතියක් ඇතුලත සිංහල හා මුස්ලිම් පිරිස් අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක් ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.

මෙවැනි ගැටුම් වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. බොහෝවිට නොසන්සුන්තාවය පැතිර යන්නේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවාය යන හැගීම නිසාය. ජනවර්ග දෙකක පිරිස් අතර ගැටුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් පොලීසිය ක්ෂණිකව හා තීරණාත්මක ලෙස එයට මැදිහත් විය යුතුය. කුපිත වූ පිරිස් රංචු ගැසී අදාළ සිද්ධියට සම්බන්ධයක් නැති පුද්ගලයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම හා සාමූහික දඬුවම් පැමිණවීම වැලැක්වීම ද මෙහිදී අත්‍යාවශ්‍ය වේ.පොලීසිය මෙවැනි අවස්ථාවලදී නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මේ රට අස්ථාවර කිරීමට මාන බලාගෙන සිටින දේශීය හා විදේශීය බලවේග මේ රට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් මේ රටේ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටී. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැලකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

අප නිදහස ලැබූ මුල් වකවානුවේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් මේ රට සමගියෙන් පාලනය කළේය. උතුරේ දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාට සේනානායකවරුන් සමඟ ඉතා කුළුපඟ සම්බන්ධතාවයක් තිබුණි. 1950 ගණන්වල මැද සිට ජාතිවාදය සහ බෙදුම්වාදය උතුරේ දෙමළ දේශපාලනයට ඇතුළු වීම නිසා ඒ යුගය අවසන් විය. පසුගිය දශකවලදී මේ රටේ මුස්ලිම් නායකත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනුගත වී සිටියේය. එජාපයේ ඒ.සී.එස්. හමීඩ් හා එම්.එච්. මොහොමඩ් සහ ශ්‍රිලනිපයේ බදියුදීන් මොහොමඩ් හා අලෙවි මවුලානා වැනි නායකයන් අපට මෙහිදී සිහිපත් වේ. මොවුන් පාර්ලිමේන්තුවට පත්වූයේ මුස්ලිම් මෙන්ම සිංහල ඡන්දද ලබාගෙනය. ඒ කාලයේ දී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබුණි.

නමුත් 1980 ගණන්වල අග සිට මුස්ලිම් ප්‍රජාවේ කොටසක්ද ජාතිවාදී දේශපාලන පක්‍ෂවලට අනුගතව තිබේ. මේ නිසා නොයෙක් දේශීය හා විදේශීය බලවේගවලට තම ඒජන්තවරුන් ලවා සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇතිකිරීම පහසු වී ඇත. අද මේ ඇතිවන සිංහල – මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද මේ රටේ ජන කොටස් අතර අවිශ්වාසය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වුවද දෙමළ ජනතාවගෙන් අති බහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහල ජනතාව අතරය. එමෙන්ම නැගෙනහිර පළාතේ සෑහෙන මුස්ලිම් ජනගහනයක් සිටිය ද මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ නැගෙනහිර පළාතෙන් පිට සිංහල හා දෙමළ ජනතාව අතරය. අප දැනට අත්දකිමින් සිටින්නේ මහපොළොවේ දක්නට තිබෙන ඒ යථාර්ථයත් ජාතිවාදී දේශපාලනයත් අතර ඇති නොගැලපීමයි. වෙනත් ආගම් හා ජාතීන්වලට අයත් ජනකොටස් සතුරන් හැටියට පෙන්නුම් කිරීම ජාතිවාදී දේශපාලනයේ පදනමයි. අද මේ රටේ ඇතිවී තිබෙන්නේ වෙනස් ආගම් හෝ ජාතිකත්වයන් සහිත පුද්ගලයන් අතර ආරවුලක් හෝ ගැටුමක් ඇතිවුවහොත්, එය ප්‍රදේශය පුරාම පැතිර යන ජාතිවාදී කෝලාහලයක් බවට පත්වීමේ ප්‍රවණතාවයකි.

මේ තත්ත්වයට දිගින් දිගටම පැවතීමට ඉඩ හැරීමට අපට නොහැක. අපේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇත. දශක ගණනාවක් පුරා මේ රට තුළ පතුරුවා ඇති ජාතිවාදී වස විස නිසා මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇත. නමුත් මෑතකදී පවත්වනු ලැබූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජාතිවාදී රැල්ල ආපස්සට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් දේශමාමක සිංහල,දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හා සංවිධාන සමඟ ඉදිරියේදී සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

14 comments:

  1. ඔබතුමන් හරියටම හරිය, ජාතිවාදය පතුරවා හරිමින්, ගැටුම් නිර්මාණය කරගනිමින් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කෙසේවත් නොහැකිය. එයින් සිදු වන්නෙ ජාතීන් අතර නැවත වතාවක් වෛරයක් ඇති වීම පමණි. අපි අතීතයට ගියහොත් ලුතිනන් කර්නල් නිසාම් මුතාලිෆ් වැනි මුස්ලිම් ජාතික රණවිරුවන් ශ්‍රී ලංකා මාතෘ භූමිය සතුරාගෙන් රැක දීම වෙනුවෙන් අති මහත් කැපවීමක් සිදුකොට එවකට සිටි කුහක දේශපාලුවන් නිසා අකාලයේ ජීවිත පූජාකර ඇති ජාතියේ රණවිරුවන්ය. එසේම ද්‍රවිඩ ජාතික රණවිරුවනුත් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදෙමින් එදා රටදැය වෙනුවෙන් ජීවිත පූජාකල ඇත. එනිසා මෙම ජාතිවාදය සහමුලින්ම උපුටා දැමීමට කටයුතු කළ යුතුය. නැතහොත් සිදුවන්නෙ මහත් විපත් පමණක්මය. මගේ ආදරණීය මාතෘ භූමිය සිරියාවක්, ලිබියාවක්, වනවා දැකීමට රට ජාතියට ආදරය,ගෞරවය දක්වන දේශමාමක ඔබ කවුරුත් කැමති වනවා ඇතැයි මම නොසිතමි.

    ReplyDelete
  2. මේකත් බලන්න පවර් සොයුරා
    https://lankacnews.com/තෙල්දෙණියේ-කලහයට-ලොහාන්/

    එක සිදුවීමක් රට පුරා පැතිරෙන විදිහට නැති කලබල අවුළන්න ආසන්නම හේතුව මේ පනත විය හැකි නේද ? මිනිසුන්ගේ ඇස් වලට ජාති වාදි වැලි ගහලා රණවිරුවන් පාවදෙන පනත සම්මත කර ගත්තා. දැන් පේනවා නේද මෙයා 2020 වෙනකන් හිටියොත් රට මොන විපතකට ඇදලා දායිද කියලා. පොහොට්ටුවට දිනන්න චන්ද තියන එපැයි. නොතිබ්බොත් මොකක්ද කරන්නෙ ? පේනවා නේද කා එක්ක හෝ එකතු වෙලා මෙයා එලවීමේ වැදගත්කම ?

    ReplyDelete
  3. ස්තූතියි sayumi සොයුරිය, ලොහාන් රත්වත්තෙ හා දිලුම් අමුණුගම යනු එදා සිට අද දක්වාම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දේශමාමක සටනට තම දායකත්වය ලබාදුන් දෙදෙනක්. එනිසා එතුමන්ලා මත මෙම ජාතිවාදී අරගලය පටලවා දැමීමට යහපාලනය සමහරක් උත්සහ ගන්නා බව දැන් නොරහසක්. ඒ වගේම සොයුරිය ඔයා සඳහන් කර තිබෙන කා එක්ක හෝ එකතු වී මෙයා පලවා හැරීමේ උත්සහය පිළිබඳව කරුණ සම්බන්ධ කාරණයේදී නම් රටේ බහුතර මහින්දවාදී ජනතාව එයට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැත. මන්ද රටේ ජනතාවට පසුගිය මැතිවරණ සමයේදී එපා වූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුථ ශ්‍රී.ල.නි.ප ය. එනිසා දිනෙන් දින රට අරාජිකත්වය කරා රැගෙන යන වර්තමාන පාලනයක් හා බලයක් නොමැති මෙම යහපාලන පලවා හැරීම මහින්ද රාජපක්ෂ මැතිතුමන් පුමුඛ එතුමන් වටා සිටන අනෙකුත් දේශහිතර්ශී බලවේග විසින් යහපත් ක්‍රමයක් හරහා සිදුකරනු ඇතැයි මා නම් අපේකෂා කලෙමි. මන්ද එතුමන්ලා නැවත ඉහත කුමන හෝ පාර්ශවයන් සමඟ එක්වීම යනු පෙර සිදුවූ කරුමයම නැවත පැමිණීමකි.

    ReplyDelete
  4. රටේ හැම අයෙකුගේම ආරක්ශාව සැලසීම පවතින රජයේ වගකීමයි. පාලනයේ දුර්වල කමින් මුලු රටම කඩා වැටිලා බව අමුතුවෙන් කිව යුතු නැත.

    ReplyDelete
  5. පැහැදිළිවම ඔබ පවසන දේ ඇත්තක්. හොඳම උදාහරණය තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය තීරණය කළා, රනිල්ව ඉවත් කර අලුත් ආණ්ඩුවක් පිහිටවීමට සිය මන්ත්‍රීවරුන් 54 දෙනාගේම සහයෝගය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දීමට. කිසිදු ඇමති ධූරයක් ගන්නේවත් නැතිව. මෛත්‍රීපාලට ලෙහෙසියෙන්ම ආණ්ඩුවක් පිහිටවන්න අවස්ථාව තිබුණා. මොකද එජාපයෙන් අඩුම තරමින් 30 ක් ඊට එක් වීමට කැමත්තෙන් හිටපු නිසා. එනමුත් මෛත්‍රීපාල එයට එකඟ වූයේ නැහැ. තවත් මෛත්‍රීපාලට අලුත් ආණ්ඩුවක් පිහිටවන්නට සහය දීමට කතා කිරීම යනු අරුත් සුන් ක්‍රියාවක්. මොකද කිසිදු ඇමති කමක් නොගෙන ආණ්ඩුවක් හදන්න සහය දෙන්න කතා කරලත්, බෑ බෑ රනිල් දිගටම ඕනා කියල මෛත්‍රීපාල කියනවානම්, ඊට වඩා දෙන්න පුලුවන් සහයෝගයක් නැති නිසා. ඇත්තටම මේ ආණ්ඩුව දිගටම පවතින්නේ රනිල් නිසා නෙමෙයි, මෛත්‍රීපාල නිසයි. කාගේත් සැක සංකා දුරු වීමට මේ ගැන ලිපියක් අප පළ කරන්නම්.

    ReplyDelete
  6. Mahinda Info Editor - බොහොම ස්තූතියි ඔබතුමන්ට. සියළු කරුණු කාරණා සහිතව එම කරුණු කාරණා සම්බන්ධව නවතම ලිපියක් පළ කරන තෙක් අප බලා සිටින්නෙමු.

    ReplyDelete
  7. එහෙම සියලු විස්තර සහිත ලිපියක් පල කරනවා නම් බොහොම හොඳයි එඩිටර් තුමා.
    දැන් වෙලා මදි පවර් සොයුරා මන් ඔබට යලි ලියන්නම්.

    ReplyDelete
  8. ඉඳිතත් මොටද? මේ ජාතික වහල් කමේ,
    මැරුණත් හොඳයි නිදහස් නම් පුළුල් බිමේ,
    මෙය සිත් ගතොත් 'සින්හල' යන නිමල් නමේ,
    තෙද කිත් යළි දු පැතිරෙයි ලොව මුළුල් ලමේ

    වික් මැති පුතෙකු තව ඉපදුණෙ නැද්ද කියා
    ලක් මව අඬයි සිටිමු ද අපි දෙනෙත් පියා,
    එක්කෝ නිදහසය නැත්නම් මරණ කියා
    එක්වව් සින්හලුනි! බොරු බිය අහක තියා.

    ReplyDelete
  9. ඔව් පවර් සොයුරා අපේ වැඩිහිටියන් කියන විදිහට ජේ ආර් මාමා එදා කළු ජූලියේදී කල දේ අද මුස්ලිම් කලබල හමුවේ බෑනා කරන බවයි පේන්නේ.ලොහාන් සහ දිලුම් වෙත ඒ අපවාදය පටවලා බේරෙන්න මුන්ට හැබැයි ලේසි වෙන්නේ නෑ.ඒ විතරක් නෙමෙයි මේ බෑනා බලයේ සිටින තාක් කල් මේ රටට කරන සතුරු කම් නම් කෙළවරක් නැහැ.මේ කලබල අස්සේ ඔහු රණවිරුවන් පාවා දෙන පනතත් සම්මත කර ගත්තා.
    හොඳයි ඔබත් එඩිටර් තුමාත් කියනව නම්, රටේ ජනතාවත් අකමැති නම් මේ බෑනා එළවීම සඳහා 'කා එක්ක හෝ' එකතු විය යුතුයි කියන කතාව මන් අත් හරින්නම්.( එඩිටර් තුමා කියන පරිදි ඇමති ධූර නොගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සහය වීමට පොහොට්ටුව ඉදිරිපත් වූ වෙලාවේ එජාප 30ක් එකතු වීමට කැමති වූ බව මට මතක තිබුනේ නෑ.එහෙමනම් රනිල් නැති ආණ්ඩුවක් පිහිටුවිය හැකිව තිබියදීයි සිරිසේන එයා මග හැර ඇත්තේ. නොකෙරෙන වැඩේට කෝඳුරු තෙල් හත් පට්ටේකුත් තව ටිකක් ඕනේ කිව්වා වගේ ඇමති ධූර ගන්න කියන්න ඇත්තේ මේක නොකෙරෙන තැනට වැඩේ සිද්ද කරන්න වෙන්න ඕනේ. සිරිසේනගේ එකම ආසාව ජනාධිපති කම රැක ගෙනීම විතරයි.ඕනෑම ප්‍රශ්නෙකදී ඔහු තීරණ ගන්න මුල් වෙන්නේ එය රැක ගන්න අරමුණින් පමණයි. රනිල් එලෙව්වොත් ඊට පස්සේ මටත් දොශාභියෝගයක් ගෙනෙයි කියන බය දැනෙන්නේ ඒ නිසානේ.තමන්ගේ ගෝල බාලයන්ගේ අනාගතයවත් ඔහුට වැදගත් නැහැ. පිනට අගමැති කම දීලා රට මේ තත්වයට ඇද දැමීමේ වගකීමෙන් ඔහුට කිසිදා මිදෙන්න බැහැ.එත් පවර් සොයුරා මේ වෙලාවේ ඔහු ඉවත් කලොත් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිකම යන්නෙ රනිල්ටයි.)පොහොට්ටුවේ පළාත් පාලන ජයග්‍රහණය නිසා තරමක් රනිල්ගේ රැස් බැහැලා බව ඇත්තයි. එත් මුස්ලිම් කලබල අස්සේ අපේ රණ විරුවන් පාවා දෙන පනත ඔවුන් සම්මත කර ගත්තා.ඉස්සරහට එන්න තියෙන පළාත් සභා චන්දෙ, ජනාදිපති වරණය මොන මගඩියක් දමා හෝ කල් දැමුවොත් ?මොකද කරන්නේ ? මොහු ඉදිරි අවුරුදු 2ත් බලයේ හිටියොත් තව මොන විපත් අපේ රටට ජාතියට ශාසනයට නොකරයිද කියන එකයි ප්‍රශ්නේ.
    මහාචාර්ය නලින් සිල්වා මැතිඳුන් ඔහු එලවීමේ වැදගත්කම ගැන නිතරම බොහොම තදින් අවධාරණය කර සිටිනවා. එතුමා කියන දේ හරි බවයි මට නම් හැඟෙන්නේ. තවදුරටත් බලයේ සිටීයොත් තව මොන විපත් රටට කරාවිදැයි කියන බය මට තියෙනවා.තනි සිරිසේනට මේවා කරන්න හයියක් නැහැ.පිටුපස ඉන්නේ රනිල්. ඒ නිසා හැකි ඉක්මනින් ඔහු ඉවත් කිරීමට කලයුතු දේ නොපමාව කිරීම නම් ඉතාම වැදගත් බව නොකියාම බැහැ. ඔබ මොකද හිතන්නේ ජයමල් ?

    ReplyDelete
  10. correction-'සිරිසේන එය මග හැර ඇත්තේ. '

    ReplyDelete
  11. ආශ්චර්යමත් රාජ්‍යක මහා බිද වැටීම
    "Dawn ofthe Yahapalana"
    Now Showing

    ReplyDelete
  12. “පතුලේ ගලක් “ “කව්ද හොරා”” සුර වීර අර්ජුන් “” දැක්කා වික්කා “ “මොලයා සහ අලයා “ :අපි තරහයි “ ආදී ජනප්‍රිය චිත්‍රපට ඔබ වෙත ගෙන ආ යහපාලන සිනමාස් වෙතින් ගෙන එන
    “බුකියේ කලබලේ “
    අධ්‍යක්ෂණය:- M පාල සොරිසේන
    පිටපත :- R වික්කමසිංහ

    ReplyDelete
  13. සයුමි හිතන විදිය තමයි මටත් හැම විටම හිතෙන්නෙ. රනිල් රට අරන් යන පැත්ත හරිම භයානකයි. මොන යම් හෝ උප්පරවැට්ටියකින් මේ රට බේරා ගැනීමේ අන්තිම හෝරාව උදා වී ඇත.

    පොහොට්ටුවට ඇති මහජන කැමැත්ත පෙබ 10 හොඳින්ම පෙන්නුම් කෙරුවා. ඒ වගේම ජනතාව මේ ඊනියා ජාතික රජයේ වැඩ පිලිවෙල ජනතාව අනුමත නොකරන බවත් ඉතාම හොඳින් පැහැදිලිව පෙන්නුම් කෙරුවා.

    තවත් මේ විදියටම ගියොත් රට එන්න එන්නම හැම අතින්ම කඩා වැටෙනවා. හැම තත්පරයක්ම හුගක් වටිනවා. මේ රටට ආදරේ සැබෑ දේශප්‍රේමී නායකයින් ඇතුලු සැම දෙනා කඩිනම් වැඩ පිලිවෙලකින් රට බේරා ගත යුතුයි.

    ReplyDelete
  14. sayumi සොයුරිය, ඔබගේ දීර්ඝ විස්තරයක් ඇතුලත් විස්තර ප්‍රකාශයට ප්‍රථමයෙන්ම ගොඩක් ස්තූතියි. ඇත්තටම අද සිරිසේන ජනාධිපතිවරයා අතේ රට තිබුණත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට රට ගියත් එකේ කිසිම වෙනසක් මට නම් පෙනෙන්නෙ නැහැ. දෙන්නම එක ඉත්තෙ පොල් කියලා විතරයි මට නම් තේරෙන්නෙ. සිරිසේන ජනාධිපතිවරයා මෙරට ජනාධිපතිවරයා බවට පත්වූයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ පිහිටෙන්. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ව බලයෙන් පහ කිරීමට සඳහා ඇතිවූ පැහැදිලි උවමනාව මත ඔවුන් සියළු දෙනා එකමුතුව මත එය සිදුවූවා. එම නිසා සිරිසේන ජනාධිපතිවරයා වර්තමානයේ කෙතරම් සුද්ධවන්ත කතා ගෙතුවත් ඔහු මෙරටට කරපු අපරාධයේ පාපය ඔහුට ගෙවන්නම වෙනවා. ඒ වගේම ඔහු ජනාධිපති ධූරයේ සිටින තාක්කල් අගමැති රනිල්ව විශ්වාසභංගයක් හරහා ඉවත් කිරීමත් වළකාලන්න උත්සහ ගන්නවා සිකුරුයි. එම නිසා අගමැති රනිල්ව වර්තමාන අගමැතිකමෙන් නෙරපා හැරීම සඳහා බහුතර ශ්‍රී ලාංකේය ජන මනාපයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් උත්සහයක් ගන්නෙ නම්, ඒ සඳහා ඔවුන් කෙසේවත් වෙනත් පාර්ශවයන් සමඟ එක් නොවී තනියම එම සටන දියත් කළ යුතු බවයි මාගේ නම් අදහස.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.