Mahinda Rajapaksa: පාර්ලිමේන්තුවේදී සිද්ධ වුණ දේ සංක්ෂිප්තව මෙන්න...

Monday, November 19, 2018

පාර්ලිමේන්තුවේදී සිද්ධ වුණ දේ සංක්ෂිප්තව මෙන්න...



සිදු වූයේ කුමක් ද​?

සිද්ධ වුණේ මොකද්ද කියල පක්‍ෂ පාට දේශපාලන මතවාද අමතක කරල තාර්කිකව හිතල බලමුද​?

හරි. එහෙනං දැන් කථානායක පිස්සු කෙළපුවා, බටර් පිහි, වතුර ගහපුවා, මිරිස් කුඩු ගහපුවා ඔක්කොම අමතක කරල අපි යමු ඔක්තෝබර් 26 වෙනිදට.

දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.

ඔන්න හවස හතට විතර ජනාධිපතිතුමා බෝම්බෙ පත්තු කරනවා. මහින්ද රාජපක්ෂ මහතාව අගමැති විදිහට නම් කරනවා.

දැන් විය හැකියාවන් දෙකක් තියෙනවා.

1. ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූලයි
2. ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූල නෑ.

ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූලයි නම්, රනිල් වික්‍රමසිංහ මහතා කරන්න ඕනෙ මොකද්ද​? මහින්ද රාජපක්ෂ මහතා අගමැති විදිහට පිළිගෙන අරලිය ගහ මැදුරෙන් ඉවත් වෙන එක​. අර්බුදයක් නෑ.

ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූල නැත්තං රනිල් වික්‍රමසිංහ මහතා කරන්න ඕනෙ මොකද්ද​? ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන එක​. මොකද ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ දක්වන්න පුළුවන් එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය​. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අතුරු තහනම් නියෝගයක් ගත්ත නම් මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම තාවකාලිකව බල රහිත වෙනවා. ඊට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එනකම් දෙපැත්තටම බලාගෙන ඉන්න පුළුවන්. අර්බුදයක් නෑ.

ඒත් රනිල් වික්‍රමසිංහ මහතා මේ දෙකෙන් එකක්වත් කරේ නෑ. ඒ වෙනුවට අරලියගහ මැදුරේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් පිස්සු කෙලින්න පටන් ගත්තා. ඔන්න අර්බුදය නිර්මාණය වුණා.

ඊට පස්සෙ මොකද වුණේ? කථානායකවරයා ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම පිළිගන්නේ නෑ කියල​. කථානායකවරයා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු 100% අපක්‍ෂපාතී විය යුතුයි. ඔහුට කරන්න තිබුණ එකම දේ ජනාධිපති ගේ ගැසට් එකට අනුව වැඩ කරන එක​. ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූල නැත්තං ඒක අභියෝගයට ලක් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එජාපයේ වැඩක් (ඔවුන් එහෙම කරෙත් නෑ).

ඔන්න අර්බුදය ඔඩු දුවන්න පටන් ගත්තා.

එතකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒක පැහැදිලිවම ඔහුට කරන්න ව්‍යවස්ථාවෙන් බලය දීල තියෙන දෙයක්. ඒත් කථානායකවරයා ඒක පිළිගන්නෙත් නැතුව පාර්ලිමේන්තුව කැඳවන බවට ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා. ඔන්න ආණ්ඩු පක්‍ෂ (ශ්‍රිලනිප​-පොහොට්ටු) මන්ත්‍රීවරුන්ගෙ කථානායකවරයා ගැන තිබුණ විශ්වාසය බිඳ වැටුණා.

අර්බුදය තවත් තීව්‍ර වුණා.

ඊට පස්සෙ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අන්න එතනදි නම් නිවැරදිව එජාපය ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළා. ඒකට අතුරු තහනම් නියෝගයක් ලැබුණා.

ඊට පස්සෙ පාර්ලිමේන්තුව රැස් වුණා (14). එදාට විපක්‍ෂය මුලින්ම කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති විදිහට පිළිගැනීම​. මොකද ඔහුගේ පත් කිරීම ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරල නැති නිසා. ඔහුට බහුතරය නැත්තං ඊට පසුව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්.

ඒත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති විදිහට පිළිගත්තේ නෑ. ඒ වෙනුවට ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූල නෑ කියල විශ්වාසභංගයක් ගෙනාවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූලද නැද්ද කියල පාර්ලිමේන්තුවේ ඡන්දයකින් බලන්න බෑ. ඒක කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි.

ඔන්න අර්බුදය උත්සන්න වුණා.

මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙත් විධිමත් ආකාරයට නෙවෙයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවලා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවලා කලබලෙන් කරන්න ඕනෙ දෙයක්ද රටක අගමැති වෙනස් කිරීම​? ඒක අර්බුදය වඩාත් උත්සන්න කරන්න හේතුවක් වුණා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවන්න පුළුවන් ඡන්දයකින් විතරයි. ඒත් ඒ වැඩේ සහ විශ්වාසභංගය සම්මත කිරීම කියන දෙකම කරේ "හඬ අනුව​".

මේ "හඬ අනුව" සම්මත කිරීම කියන දේ කරන්නෙ එක පැත්තකට ඡන්ද පැහැදිලිවම වැඩියි කියල පේන්න තියෙද්දි පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම වැළැක්වීමට දෙපාර්ශවයේම එකඟතාවයෙන්. උදාහරණයකට යම්කිසි යෝජනාවකට පක්‍ෂව 150 සහ විපක්‍ෂව 20 ඉන්නව නම්, නම් වශයෙන් ඡන්දය ගැනීම කිසිම තේරුමක් නැති බව පැහැදිලිවම පේන්න තියෙන නිසා දෙපැත්තෙම එකඟතාවය මත "හඬ අනුව" සම්මත කරන්න පුළුවන්.

ඒත් 105-115 වගේ තියෙන දෙයක් "හඬ අනුව" සම්මත කරන්න පුළුවන් ද​? එහෙම කරන්න නං කථානායක සුපර් මෑන් වෙන්න ඕනෙ.

උදාහරණයකට චමල් රාජපක්‍ෂ මහතා කථානායක වෙලා ඉද්දි ගෙනාපු යෝජනාවක් හඬ අනුව සම්මත කලා. ඒත් එජාපයේ මන්ත්‍රීවරයෙක් ඒකට විරුද්ධ වුණාම නැවත නම් වශයෙන් ඡන්දය ගත්තා. ඒ දෙපාර්ශවයේම එකඟතාවය නැති වුන නිසා.

පක්‍ෂ නායක රැස්වීමක් කැඳවන්න කියල ආණ්ඩු පක්‍ෂයෙන් දිගින් දිගටම කරපු ඉල්ලීම් ඉතාම අසාධාරණ විදිහට කථානායක වරයා ඉවත දැම්මා. විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිහි අරගෙන ආවා. ඒ ගැන කරපු පැමිණිලි කථානායකවරයා ගණන් ගත්තේ නෑ.

කථානායකවරයා ඒකාධිපතියෙක් විදිහට හැසිරෙමින් බලහත්කාරයෙන් යෝජනාව සම්මත කරන්න යන බව පැහැදිලි වුණා.

අර්බුදය පුපුරා ගියා.

ජනාධිපතිවරයා විශ්වාසභංගය පිළිනොගන්නා බව කිව්වා. ඔහුට ඒ ඇරෙන්න කරන්න දෙයක් තිබුණාද? ඔහු කරපු දෙයක් ව්‍යවස්ථානුකූල නෑ කියල (වැරදි විදිහට​) සම්මත කරගත්ත දෙයක් ඔහුට පිළිගන්න බෑ. ඒ වගේම ඡන්දය විමසපු ආකාරය ගැනත් ඔහු සෑහීමකට පත් වුණේ නෑ. ඔහු ඉතාම සාධාරණ ඉල්ලීමක් කළා විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය ඉවත් කරලා නැවත විධිමත්ව ඒක ඉදිරිපත් කරන්න කියල​.

විධිමත්ව කියන්නෙ ස්ථාවර නියෝග අත් හිටුවලා නෙවෙයි.

ඊට පස්සෙ 16 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා.

ආණ්ඩු පක්‍ෂය විරෝධතාවයක නිරත වුණා. ඔවුන්ට තව දුරටත් කථානායක වරයා ගැන විශ්වාසයක් තිබුණේ නෑ. දැන් අර්බුදය පුපුරා ගිහිල්ල ඉවරයි.

කථානායක වරයා විධිමත්ව විශ්වාසභංගය ඉදිරිපත් කළේ නෑ. නව යෝජනාවක් අලුතින් ඉදිරිපත් කෙරුණේ නෑ. පොලිස් බල​ඇණියක් වටකරගෙන මොකද්දෝ එකක් කරා. ආයෙත් හඬ අනුව ස්ථාවර නියෝග අත් හිටෙව්වා. ඊනියා විශ්වාසභංගයක් සම්මත කළා.

ජනාධිපතිවරයා ආයෙත් ඒක පිළිගත්තෙ නෑ. ඔහුට ඒක පිළිගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.

දැන් අර්බුදය පුපුරා ගිහිල්ල ඉවරයි.

කරන්න පුළුවන් හොඳම දේ දෙසැම්බර් 7 නඩු තීන්දුව එනකං පාර්ලිමේන්තුව කල් තැබීම​.

- සසැපා -