Mahinda Rajapaksa: පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නතර කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බරපතල වැරදි 3 ක්. (තීන්දුවේ PDF සහිතයි)

Friday, December 21, 2018

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නතර කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බරපතල වැරදි 3 ක්. (තීන්දුවේ PDF සහිතයි)

"නඩු තීන්දුවක් සාධාරණව විවේචනය කිරීම අපරාධයක් නොවේ" යනුවෙන් අගවිනිසුරු නලින් පෙරේරා මහතා පවසා තිබෙනවා. [මූලාශ්‍රය] "ඕනම නඩු තීන්දුවක් විවේචනය කිරීමට පුරවැසියෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා." යනුවෙන් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසා තිබෙනවා. [මූලාශ්‍රය] ඒ අනුව මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදන අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැරදි 3 ක්, උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ පරිදි සාධාරණව විචාරය කිරීමටයි. එසේ වුවද උක්ත තීන්දුවට අපි ගරු කරන අතර ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටිනවා.


[1]. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව දමා තිබූ නඩුවේදී, නඩුවේ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ සාතිශය වැදගත්ම තර්කය වූයේ, අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්ලවත්ත යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළ "අමතරව" නැමති වචනයට අදාල තර්කයයි. එනම්,

33.2.ඇ වගන්තියට අනුව, 70.1 හි සඳහන් බලතල වලට අමතරව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ඇත්තේ ය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනයේ පදනම් තර්කය (Core Argument) වූයේත් එයයි. විත්තිය වෙනුවෙන් කතා කළ නීතීඥවරුන් ලිඛිතවත් වාචිකවත් පුන පුනා පැවසූ තර්කය වූයේත් එයයි. එම තර්කය පහත රූපසටහනින් වඩාත් පැහැදිළිව දැක්වෙනවා.


පි‍ටු 88 කින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ උක්ත තර්කය ගැන එහි 75 වන පි‍ටුවේ අවසාන ඡේදයේ ඇත්තේ පහත පරිදි යි.


ඒ අනුව "අමතරව" තර්කය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර වූයේ "cannot be accepted due to the reasoning set out earlier".  (මීට පෙර දැක්වූ හේතු නිසා පිළිගැනීමට නොහැකියි).

පි‍ටු 88 ක නඩු තීන්දුවේ, විත්තියේ ප්‍රධානතම තර්කයට පිළිතුර වචන 10 කින් දක්වා තිබෙනවා. මීට පෙර දැක්වූ හේතු මොනවාදැයි නිශ්චිතව පැහැදිළි කරලා නැහැ. මෙය නඩු තීන්දුවේ බරපතල වරදක් නෙමෙයි ද?

පහත දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවයි.





[2]. උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ නීතීඥවරයා වූ ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ඉදිරිපත් කළ වැදගත්ම තර්කය මෙලෙසයි.

19 වන සංශෝධනයට පෙර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහි 33 අනු ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරයාට ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල දක්වා නැහැ.


ජනාධිපතිවරයාට ඇති පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ගැන 19 වන සංශෝධනයට පෙර සඳහන් වුණේ 70.1 හි පමණයි.


ඒ අනුව 19 වන සංශෝධනය මගින් 70.1 සහ 33.2.ඇ යන වගන්ති දෙකම ඇතුළත් කරලා තිබෙනවා. එසේ නැතිව 33.2.ඇ යනු මීට කළින් තිබුණ වගන්තියක් නෙමෙයි.

එසේ කළේ, යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ කිසිවෙකුට බහුතරය නොමැතිව, පාර්ලිමේන්තුව අක්‍රීය තත්ත්වයක් ඇතිවුවහොත්, ජනාධිපතිවරයාට ස්ව අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැර නව පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීමට ඉඩ ලබා දීමටයි. උදාහරණ ලෙස අයවැයක් සම්මත කිරීමට කිසිවෙකුට බහුතරය නොමැති වීමත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2/3 ක් නොමැති වීමත් යන තත්ත්වයක් ඇති වුවහොත් මුළු රටම අක්‍රීය වෙයි.

උක්ත තර්කයට නඩු තීන්දුවෙන් උත්තර දෙන්නේ මෙලෙසයි.


මුල් ඡේදයේ දැක්වෙන්නේ විත්තියේ තර්කය වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැක්වෙන අවසාන ඡේදයේ දැක්වෙන්නේ "මෙය මන:කල්පිත දෙයක් නිසා පිළිගත නොහැකිය" යනුවෙනුයි.

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා සමානුපාතික ක්‍රමයට අනුව, 1989 දී දිනන පක්ෂය ආසන 125 ක් ගන්නා අතර 2010 දී දිනන පක්ෂය ආසන 144 ක් ගත් අතර, අනෙක් සෑම මැතිවරණයකදීම දිනන පක්ෂයට පැහැදිළි බහුතරය තිබී නැහැ. ඒ අනුව උක්ත තර්කය මන:කල්පිතයක් නෙමෙයි.



[3]. උක්ත නඩුවේ තවත් වැදගත්ම තර්කයක් වූයේ මහාචාර්ය ජීඑල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරිපත් කළ තර්කයයි. එනම්,

2002 දීත් ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ඉවත් කරන 19 වන සංශෝධනය ගෙන ආවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකු තීන්දුවක් ලබා දුන්නා, ජනාධිපතිව පත් කරන්නේ සෘජුවම ජනතාව විසින් නිසා ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල අන් සතු කිරීම (alienate) උදෙසා, පැවරීමට (transfer), අතහැරීමට (relinquish) හෝ ඉවත් කිරීමට (remove) පාර්ලිමේන්තුවේ 2/3 කින් පමණක් නොහැකි බවත් ඒ සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය බවට. පහත දැක්වෙන්නේ එම තීන්දුව. [මූලාශ්‍රය]


ශ්‍රේෂ්ඨාධිකරණයම දුන් ඉහත නඩු තීන්දුවට අනුව, 19 වන සංශෝධනයට පසු 70.1 වගන්තියෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමා වෙනවා නම්, එය කිරීමට ජනමත විචාරණයක් තිබිය යුතු වුණා.

33.2.ඇ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවානම්, 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත වීම 2002 නඩු තීන්දුවට අනුව නීති විරෝධී වෙනවා. එහෙම නැතිනම් පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්ඩුවක් ගණන් නොගෙන ඉවත් ලෑ බවක් සැලකීමට සිදුවෙනවා.

එසේ ජනමත විචාරණයක් නොමැතිව 19 වන සංශෝධනය සම්මත කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේම තීන්දු දෙකක් එකිනෙක ඝට්ඨනය කර නොගනිමින් සාධාරණීකරනය කිරීමට හැකි වන්නේ ජනාධිපතිවරයාගේ බලතල වලට අයත් 33.2.ඇ මගින්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට පරණ විදිහටම ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගැනීමෙන් පමණයි.

දැන් මේ ගැන නඩු තීන්දුවේ කියන්නේ කුමක්ද? කණගා‍ටුව නම්, ඉහත තර්කය ගැන කිසිදු සඳහනක් නඩු තීන්දුවේ නෑ. එයත් තීන්දුවේ බරපතල වරදක් නොවේද?


- Mahinda.info Editor -

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.