Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ - මෛත්‍රීපාල සිරිසේන සුසංයෝගය ඉදිරියටම යන ලකුණු...

Sunday, December 16, 2018

මහින්ද රාජපක්ෂ - මෛත්‍රීපාල සිරිසේන සුසංයෝගය ඉදිරියටම යන ලකුණු...


ඊයේ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යාව ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය ඉදිරිපිටදී ම, ඔවුන්ගේ බැඳුම්කර හොරකම, යහපාලන ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති, ජනපති ඝාතන කුමන්ත්‍රණය ඇතුළු පෙර වැරදි දැඩි ලෙස විවේචනය කරමින් පැවැත්වූ කථාව ගැන රටේ ප්‍රගතිශීලී ජනතාවගේ ප්‍රනාමය හිමි විය.



එම කතාව ඇසීමෙන් අපිට වැටහෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජනතා විරෝධී පාලනය ගැන ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදයකින් පළ වෙන බවයි. මන්ද යත්, අප දන්නා ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් තුරාවට දේශපාලන නායකයෙක් විසින් වෙනත් පක්ෂයක දේශපාලඥයින් පිරිසක් එකම මේසයේ තියාගෙන, සජීවීව ජනතාව ඉදිරියේ දෝශාරෝපණය කළ පළමු අවස්ථාව මෙය වීමයි.

අවුරුදු තුන හමාරක් තිස්සේ රනිල් ප්‍රමුඛ එජාපයේ ජනතාවිරෝධී වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසිද්ධියේ විරෝධය පළ නොකළ ජනාධිපතිවරයා මේ වෙද්දී ඔවුන්ගේ මූණටම ජනතාව ඉදිරියේදී දෝශාරෝපණය කිරීමට හැකි වූයේ, එක්සත් ජාතික පක්ෂයෙන් දෝශාභියෝගයක් ගෙනාවොත්, එය පරාජය කිරීමට එකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවට ඔහුට සහතික වී ඇති නිසාවෙනි. එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ශක්තිය ඔහුට විශාල පිටිවහලක් විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි. එනමුදු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටවන තුරු රටේ පාලනය ගෙන යාමට නිසාත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තාවකාලිකව නතර වී ඇති නිසාත් එතුමන් සිය ධූරයෙන් ඉල්ලා අස් විය. එනමුදු මහ මැතිවරණයක් ලබා ගැනීම උදෙසා මහ පොළොවේ අරගලය දිගටම පවතිනු ඇත. එහි ආරම්භයක් ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පාර්ලිමේන්තුව විපක්ෂ නායකත්වය ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

පසුගිය මාස එක හමාරක පමණ කාලය තුලදී ඇතිවූ දේශපාලන පෙරළියෙන් රටට ඉමහත් ප්‍රතිලාභ ලැබුණි. ප්‍රධානතම ප්‍රතිලාභය වූයේ එජාපයට තිබූ ඊනියා 2/3 ක පාර්ලිමේන්තු බලය නැති වීම නිසා, ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමේ හැකියාව තවදුරටත් නැති වීමයි. එසේම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා, ආණ්ඩුවට සහය දක්වන දෙමළ ජාතික සංධානයට විපක්ෂ නායකත්වය දී තිබූ අතර, පසුගිය පෙරළියෙන් දෙමළ ජාතික සංධානයේ සැබෑ තැන කුමක්දැයි ජනතාවට පැහැදිළි විය. අනෙක් අතට ඉන්ධන මිල අඩු කිරීම, කොටින්ට වන්දි ගෙවීම නතර කිරීම, සිංගප්පූරු ගිවිසුම අත් හිටවීම, පොහොර සහනාධාරය නැවත ලබා දීම, පාසල් නිල ඇඳුම් යළි ස්ථාපිත කිරීම, අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල අඩු කිරීම, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආදායම් බද්ද අහෝසි කිරීම, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු වැඩ තහනමට ලක් කළ පොලිස් බුද්ධි නිලධාරීන්ව නැවතත් ස්ථාපිත කර මහා පරිමාණ කුඩු ජාවාරම් ඇල්ලීම ඇතුළු රටට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දීමට හැකි වූ අතර, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අග්‍රාමාත්‍ය බලතල අධිකරණයෙන් අත් නොහිටවන්නට ජනාධිපතිවරයා හා සාකච්ඡා කර මරණ දඬුවම හිමිව තිබූ රණවිරුවන්ව නිදහස් කිරීම ඇතුළු තව බොහෝ දේ කිරීමට හැකියාව තිබුණි. ජනතාව ලද විශාලතම ජයග්‍රහණය වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් අත් පත් කරගෙන තිබූ විධායකයේ බලය නැවතත් ජනතාව වෙනුවෙන් නැඹුරු වීමයි. ඒ අනුව මහින්ද - මෛත්‍රී සුසංයෝගය ශක්තිමත්ව ඉදිරියට යන බවට දිස් වේ.

මඟුල් පෝරුවේදීම මනාල මනාලී දෙපළ අතර දබරයක් ඇතිවුවහොත්, දෙපළ යහතින් පවුල් කන්නේ නැති බව අත් දු‍ටුයි, ප්‍රත්‍යක්ෂයි. අන්න ඒ අකාරයෙන්ම, මේ ආණ්ඩුව වැඩි කල් නොපවතින බවත්, දැන් එජාපයට ආණ්ඩුවත් ඇති බැවින්, පාර්ලිමේන්තුවේ 2/3 ක් හරහා පාර්ලිමේන්තුව විසිරවා ජනමතය බැලීමට සියලුම මන්ත්‍රීවරුන් එකඟ වෙනු ඇතැයි හුදී ජනයා බලාපොරොත්තු වේ.