Mahinda Rajapaksa: පාතාල ණය ක‍්‍රමයක් රට පුරා.. පොලිය 30% සිට 100% දක්වා.. මහින්ද මැතිඳුන් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

Friday, April 5, 2019

පාතාල ණය ක‍්‍රමයක් රට පුරා.. පොලිය 30% සිට 100% දක්වා.. මහින්ද මැතිඳුන් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.



එදා අපේ ගම්වල අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් ලෙස එක්ව හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීමට මුදලක් ඉතිරි කිරීමටත්, තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත් අවිධිමත් ණය ක්‍රමයක් තම කණ්ඩායම තුළ ක්‍රියාත්මක කිරීමටත් පුරුදුව සිටියහ. නිවසේ අවශ්‍යතා මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපුරා ගැනීමට ගම තුළ සීට්ටු ක්‍රමයක් ද එදා ක්‍රියාත්මක වුනි.

පසුගිය දශක පහකට ආසන්න කාලයක් තුළ බොහෝ සංවිධාන විසින් ‍මෙම කණ්ඩායම් ක්‍රමය කෘතීමව යොදාගනිමින් ගමේ තිබු සාමුහිකත්වය ලාභ ඉපයීමේ ක්‍රමවේදයකට පෙරලා ගත්හ. මේ තුලින් ක්‍ෂුද්‍ර මුල්‍ය සංකල්පයේ පදනම වු දුප්පතා මත විශ්වාසය තැනීමේ මූලික හරය ගමෙන් ඉවත් කළහ.

ණයක් ලබා ගැනීමට විශ්වාසය පමණක් ප්‍රමාණවත් නොවුනි. අහිංසක ගැමියාට ඒ සඳහා කුමක් හෝ දේපලක් උකසට තැබීමට සිදුවුණි. ධීවරයාට ධීවර ආම්පන්නත්, ගෘහණිය සතුව තිබු මහන මැෂිමත්, පාපැදිය, යතුරු පැදිය, මෙන්ම ගොවියාගේ වතුර මෝටරය ඇතුළු කෘෂි උපකරණත් ඇපකර වශයෙන් තැබීමට සිදුවී ඇත. තම ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම, නියගය නිසා අපේක්ෂිත අස්වැන්න නොලැබීම වැනි හේතු, ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයකට ගැමියා ඇද දමා ඇත. ආණ්ඩුව අයවැය යෝජනා මගින් ජනතාව ලබා ගත් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය කපා හරින බව දිගින් දිගටම පැවසුවද, ණය ලබා දුන් ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි බව පවසා මෙතෙක් ණය කපාහැරීමක් සිදු කර නොමැත.

වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය ඊටත් වඩා දරුණුය. ලියාපදිංචි ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වලට වඩා පුද්ගලික ණය මුදල් සපයන්නන් රටපුරා ව්‍යාප්තව ඇත. ණය සඳහා ඔවුන් අය කරන පොලිය වසරකට 30% සිට 100% දක්වා වු පරාසයක පවතී. ණය ලබාගත් දින සිටම ණය ආපසු ගෙවීම ආරම්භ වේ. ණය වාරික අයකර ගැනීමට ණය ලබා දෙන අයගේ නියෝජිතයා ණයකරුගේ නිවසටම පැමිණේ. ණය ගෙවීම ප්‍රමාද වීම්, බැනවැදීම්, තර්ජණය කිරීම් පමණක් නොව විවිධ ආකාරයේ අල්ලස් ලබා ගැනීම් දක්වා ව්‍යාප්තව ඇති බව වාර්තා වේ. ඇතැම් විට පාතාලය හා සම්බන්ධවී ගෙන යන මෙම ණය ජාවාරම ග්‍රාමීය ආර්ථිකය විකෘති කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමටත්, අහිංසක පවුල් ජීවිත විනාශ කිරීමටත් ප්‍රබල හේතුවක් බවට පත් වී ඇත.

ණය මුදල ලබා ගැනීමට බැංකු ඉල්ලන සුදුසුකම් කිසිවක් අහිංසක ජනතාව සතුව නැත. උකසට තැබු කණකර ආභරණ බැංකුවට සින්න වී ඇත. ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය මුලික ප්‍රාග්ධනය හෝ ඔවුන් සතුව නැත. මේ වනවිට ග්‍රාමීය ආර්ථිකය දරුණු ප්‍රපාතයකට ඇද වැටී හමාරය.

මෙවන් තත්වයක් හමුවේ පාතාලය හා බැඳුනු නීති විරෝධි ණය ක්‍රම සමාජයෙන් ඉවත් කිරීමටත්, අවිධිමත් ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන හරහා ලබාගත්, ගෙවීමට නොහැකි ණය වහා කපා හැරීමටත්, ආණ්ඩුව කටයුතු කළයුතු බව මෙම ගරු සභාවට යොජනා කර සිටින අතර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන ක්‍ෂුද්‍ර මුල්‍ය සේවාවක් බිම් මට්ටමේ ස්ථාපිත කළ යුතු බවත් යෝජනා කරමු.

මේ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙස ද ඉල්ලා සිටිමු

මහින්ද රාජපක්‍ෂ
විපක්ෂ නායක