Mahinda Rajapaksa: යහපාලනය ආ පසුව ආර්ථික ප්‍රශ්න නිසා සියදිවිනසාගැනීම් ඉතා ඉහළට - පොලිස් වාර්තාවේ මූලාශ්‍ර මෙන්න.

Tuesday, July 9, 2019

යහපාලනය ආ පසුව ආර්ථික ප්‍රශ්න නිසා සියදිවිනසාගැනීම් ඉතා ඉහළට - පොලිස් වාර්තාවේ මූලාශ්‍ර මෙන්න.



[1]. ආර්ථික අපහසුතා නිසා පමණක් නෙමෙයි, අපේ රටේ කිසිදා සිදු නොවුන ආකාරයට කුසට ආහාරයක් ලබා ගන්න බැරි කම නිසා පවා පසුගිය කාලයේ ජනතාව සිය දිවි නසා ගත් ආකාරය ජනමාධ්‍ය වලින් අප දු‍ටුවා.




[2]. ඒ පිළිබඳව විග්‍රහ කරමින් එජාප දේශපාලඥයින් පැවසූයේ ඒවා හුදකලා සිද්ධීන් කිහිපයක් පමණක් බවත්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඒවා උත්කර්ෂයට ලක් කරමින් ප්‍රචාරය කරන බවයි.


[3]. නමුත් පසුගිය දා ඉකොනොමිනෙක්ස්ට් නැමති ස්වාධීන ආර්ථික පර්යේෂණ වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා නිසා සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති ආකාරය රටට හෙළි කලා. [මූලාශ්‍රය]



[4]. ඒ අනුව, ආර්ථික අපහසුතාවයන් නිසා 2016 දී 156 ක් සියදිවි නසා ගැනීම්, 2017 දී 195 ක් ලෙසත්, 2018 දී 238 ක් ලෙසත් වර්ධනය වී තිබීම අතිශය කණගා‍ටු දායකයි.


[5]. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වී තිබුනද, දුප්පත් කම නිසා සිය දිවි නසා ගැනීම් වර්ධනය වීමට හේතු වී ඇත්තේ ආදායම් බෙදී යාමේ දැඩි විෂමතාවයක් ඇති නිසයි. එනම් දුප්පත් ජනතාව දුප්පත් කමේ අන්තයටම ගොස් ඇති අතර, රටේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නේ පෝසතුන් සුළු පිරිසකුයි.


[6]. දුප්පත් ජනතාව අතර දුප්පත් කම දිගින් දිගටම ඉහළ යාමට "දුගී බවේ විෂම චක්‍රය" නැමැති ආර්ථික විද්‍යාත්මක සිදුවීම හේතු වෙනවා. වත්මන් ආණ්ඩුවට ඉන් මිදීමට ක්‍රමවේදයක් පෙනෙන්නේ නෑ.



[7]. හොඳම උදාහරණයක් තමයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මිහිඳුසෙන්පුර, සයුරුපුර, රන්දිය උයන, ලක්සඳ සෙවණ, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන, ජන සෙවණ ආදී සියල්ලම ඉදි කළේ කොළඹ ඇතුළු තදාසන්න අග නගර වල මහල් නිවාස විදිහටයි. ඒ අනුව ඒවායේ ජනතාවට පහසුවෙන් ජනාකීර්ණ කොළඹින් ‍රැකියාවක නිරත වීමට අවස්ථාව ලැබෙනවා. උඩ දැක්වෙන දුගී බවේ විෂම චක්‍රය කැඩීමේ එක් විදිහක් තමයි ඒ.



[8]. නමුත් වත්මන් ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා නිවාස ඉදි කරන්නේ ඈත පිටිසර ගම්මාන වල, එක පවුලකට පර්චස් 5 ක් බැගින් එන විදිහටයි. අක්කරයේ ගානෙවත් දීල නිවාස හැදුවනම් ඔන්න ගොවිතැන් බත් කරගතෑකි. එහෙම නැතිව ඈත පිටිසර හුණ්ඩු නිවාස වල සිටින ජනතාවට සිදුවන්නේ දුප්පත් කමීන් තව තවත් අන්තයටම යාමයි. පේනව නේද යුග දෙකේ ප්‍රතිපත්ති සැලසුම් වල වෙනස?


[9]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ කාලයේදී රට පුරා සිදු කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් නිසා කම්කරුවන්, තාක්ෂණ ශිල්පීන්, යන්ත්‍ර ක්‍රියාකරුවන්, රියදුරන්, සැපයුම් කරුවන්, සහ ඒ සියල්ලන්ටම ආහාරපාන නවාතැන් ඇතුළු පහසුකම් ලබා දෙන ජනතාව ඇතුළු මිලියන 5 ක් පමණ ජනතාවට සෘජුවම ආදායම ගලා ගියා. අනික් අතට රු 350 ට දුන් පොහොර සහනාධාරය නිසා පහසුවෙන් කුඹුරු කිරීමට ජනතාවට හැකියාව තිබුණා. 1500 ට දුන් පොල්, රබර් සහ තේ පොහොර නිසා අක්කර බාගයක් වගේ ඉඩමක් ඇති අයෙකුට වුණද ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්නට හැකියාව තිබුණා. ඒ අකාරයට තවත් මිලියන 5 ක් පමණ වන කෘෂිකර්මයෙන් යැපුණ ජනතාවට ආර්ථික ශක්තියක් ලැබුණා. රටේ ජනතාවට ආදායක ලැබීමත් සමගම වෙළඳාම් සහ අනෙකුත් නිශ්පාදන කරන ජනතාවගේ ආදායමද ඉහළ ගියා. ඒ ඉතිරි මිලියන 5 ක විතර ජනතාව. ඒ අනුව එදා අප රට "දුගී බවේ විෂම චක්‍රයෙන්" මිදෙමින් පැවතුණා.


[10]. අද වෙන විට ඒ මහා සංවර්ධන ව්‍යාපෘතීන් නවත්වලා, පොහොර සහනාධාර නවත්වලා. නිවාස දෙන්නෙත් කිසිදු ආදායමක් ලබා ගන්න නොහැකි තැන් වලයි. ඒ විතරක් නෙමෙයි සංචාරක ක්ෂේත්‍රයෙන් යැපෙන ලක්ෂ 5 ක් විතර ජනතාව අද වෙද්දී අනාථයි. ඉතින් අද වෙන විට සිදු වී තිබෙන්නේ ආණ්ඩුව විසින් සිය නොදැනුවත් කමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව දුගී බව දෙසට තව තවත් තල්ලු වීමයි. ආර්ථික අපහසුතා නිසා ජනතාව සිය දිවි නසා ගැනීම වැඩි වෙන එක ඉතින් පුදුමයක් ද?