Mahinda Rajapaksa: එජාපයට දැවැන්ත මතවාදී පරාජයක්, එජාපයේම සමීක්ෂණයකින් හෙළි වෙයි.

Tuesday, September 24, 2019

එජාපයට දැවැන්ත මතවාදී පරාජයක්, එජාපයේම සමීක්ෂණයකින් හෙළි වෙයි.


[1]. එක්සත් ජාතික පක්ෂය තවමත් පෙනී සිටින මතවාදය වන්නේ
(i). විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ
(ii). 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදා හැරීමක් කිරීමට යි.
සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබා දීමට දමා ඇති ප්‍රධාන කොන්දේසි තුනෙන් මුල් දෙක වන්නේත් ඉහත කරුණු 2 ය.


[2]. පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ NGO එක වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Centre for Policy Alternatives) මගින් මෑතකදී කරන ලද සමීක්ෂණයක් මගින් එජාපයට නොසිතූ ප්‍රතිඵලයක් පෙන්වා දී තිබේ.  [මූලාශ්‍රය]. පහත දැක්වෙන්නේ එජාපයේ මූලික මතවාද දෙකට අදාල සමීක්ෂණ ප්‍රතිඵල යි.


[3]. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟ වී ඇත්තේ ජනතාවගෙන් 14.8% ක් පමණි. දෙමළ ජනතාව හැරුණ විට සිංහල, උඩරට දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව විධායක ජනාධිපති ක්‍රමය දිගටම පැවැතීමට එකඟ වේ.



[4]. ඒකීය රටක් (බලය නොබෙදූ රටක්) සහ එක්සත් රටක් (බලය බෙදූ රටක්) සම්බන්ධයෙන් ජනමතය. රටේ 55% ක් රට ඒකීය ලෙස පැවැතීමට එකඟ වේ.



[5]. පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු NGO නඩය අනියමින් වැඩ කරන්නේ එජාපයට පක්ෂපාතීව බව නොරහසකි. ඒ අනුව ඉහත සමීක්ෂණ ප්‍රතිඵලය විරුද්ධ පක්ෂයක මඩක් කියා බැහැර කිරීමට එජාපයට නොහැකිය. එය එජාප මතවාදය ජනතාව ඉදිරියේදී පරාජය වීමක් ලෙස පිළිගැනීමට සිදුව ඇත. අනෙක් අතට සැබෑ ජනමතය ඊටත් වඩා එජාපයට අවාසිදායක විය හැකි බව සිතිය හැකිය.


[6]. යම් ලෙසකින් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගැනීම උදෙසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ බලය බෙදා හැරීමට එකඟ වුවහොත් එය ඔහු ආරම්භයේදීම රටේ බහුතරය අතින් ප්‍රතික්ෂේප වීමකි. අනෙක් අතට එකී කරුණු දෙකට එකඟ නොවුවහොත් ඔහුට රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව එජාපය මෙහෙයවන බටහිර හාම්පුතුන්ගේ ද සහයෝගය නොලැබෙනු ඇත.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.