Mahinda Rajapaksa: සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමති ධූරය දෙන බවට සජිත්ගේ ප්‍රකාශය ඇන්දිල්ලක්. මෙන්න ව්‍යවස්ථාව.

Tuesday, October 15, 2019

සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමති ධූරය දෙන බවට සජිත්ගේ ප්‍රකාශය ඇන්දිල්ලක්. මෙන්න ව්‍යවස්ථාව.


[1]. තමන් ජනාධිපති වුවහොත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමති ධූරය සරත් ෆොන්සේකාට දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

(i).ඒ බව රජයේ ලියාපදිංචි පුවත්පතක් වන මව් රට පුවත්පත වාර්තා කර ඇත්තේ මෙලෙසයි.



(ii). එසේම ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන mawratanews.lk වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සරත් ෆොන්සේකා මහතා සමග එකඟතාවයක් ඇතිකරගත් බවකි.
"එජාප අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා හිටපු හමුදාපති සරත් ‌ෆොන්සේකා මහතා අතර අද (10) දින කැලණිය රජමහා විහාරස්ථානයේදී ‌එකගතාවක් ඇතිව තිබේ. ඒ, ‌තමා යටතේ පිහිටුවන ආණ්ඩුවකදී ආරක්ෂක අමාත්‍ය ධූරය සමග තවත් වගකීම් රැසක් ‌ෆොන්සේකා මහතාට ලබාදෙන බවට සජිත් ‌ප්‍රේමදාස මහතා ප්‍රතිඥාවක් ලබා ‌දෙමිනි." [මූලාශ්‍රය]

(iii). එසේම ගෝල්ෆේස් ‍රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ පහත පරිදි ය.
"සරත් ෆොන්සේකා මැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහලම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා" [මූලාශ්‍රය]

ශ්‍රී ලංකාවේ ජාතික අරක්ෂාවේ ඉහලම වගකීම වන්නේ ආරක්ෂක අමාත්‍ය ධූරයයි. [මූලාශ්‍රය]


[2]. ඒ අනුව ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම වන ආරක්ෂක අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතාට ලැබේනම්, රටේ ජාතික ආරක්ෂාව ගැන බියෙන් ගෝඨාභය මහතාවම අවශ්‍ය නොවන බව එජාපයේ ප්‍රචාරණ ඒකකයෙන් පතුරුවමින් සිටී.


[3]. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය අතිශය සාවද්‍ය ප්‍රකාශයකි. 19 වන සංශෝධනයෙන් පසු වද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයා ම ය. පහත දැක්වෙන්නේ ඊට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උදෘතයයි. [මූලාශ්‍රය]



[4]. ඉහත දැක්වෙන 4 වන අනු ව්‍යවස්ථාවේ (ආ) වගන්තිය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අර්ථකතනය කරමින් පැවසූයේ ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයාම විය යුතු බවය.  [මූලාශ්‍රය]


19 වන සංශෝධයෙන් එම 4(ආ) වගන්තියේ හෝ ඊට බලපාන කිසිදු වගන්තියක සංශෝධනයක් වී නොමැත.

ඒ අනුව සරත් එන් සිල්වා මහතා එදා දුන් නඩු තීන්දුව අදටත් එලෙසම බලපායි.


[5]. ඉහත මූලාශ්‍ර අනුව පැහැදිළි වන්නේ ජනාධිපති ධූරයට පත් වීමෙන් මිස සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම වන ආරක්ෂක අමැති ධූරය ලැබීමට කිසි සේත්ම හැකියාවක් නොමැති බවයි.

2015 දී කළාක් මෙන් මෙවරත් කප්පරක් බොරු ගසමින් අලුත් වටයකින් ජනතාව ඇන්දවීමට එජාපය උත්සාහ ගන්නා අතර ඊට එරෙහිව මෙම තොරතුරු හැකි තරම් බෙදා හරින මෙන් ඉල්ලා සිටිමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.