Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් පක්ෂ දෙකඩ කළා කියන අසාද් සාලිගේ චෝදනාවට පිළිතුරු.

Monday, June 15, 2020

මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් පක්ෂ දෙකඩ කළා කියන අසාද් සාලිගේ චෝදනාවට පිළිතුරු.



මෙතෙක් කාලයක් ජනතාව දැනන් සිටියේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් යනු දෙකඩ වෙන්න ගිය රට බේරා ගත් නායකයා යනුවෙනි. නමුත් අසාද් සාලි පසුගිය දා පැවසූ කතාවෙන් පසුව පෙනී යන්නේ, දෙකඩ වෙන්නට ගිය රට බේරා ගැනීමට අමතරව, වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග අතට අත දී හොර ගිවිසුම් ගසා රට දෙකඩ කරන්නට ගිය දේශද්‍රෝහීන් ‍රැළත් එතුමන් විසින් දෙකඩ කර ඇති බවයි.

2015 දී යමපාලකයින් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව පරාජය කළා පමණක් නොව ශ්‍රීලනිපයේ කොටසක් යමපාලනයට බිලිබාගෙන ශ්‍රීලනිපයද "දෙකඩ කළේය". ජාතික ආරක්ෂාව නැත්තටම නැති විය. එහි ප්‍රතිඵලය අපි 2019 පාස්කු දින දු‍ටුවෙමු. 97 වතාවක් බුද්ධි අංශ වලින් අනතුරු අඟවා තිබියදීත් 8 දෙනෙක්ගෙන් ජනතාව බේරාගන්න බැරි වූ යමපාලකයින්, ලෝක බලවතුන් පවා අසරණ වූ කොරෝනා වෛරසයෙන් රට බේරා ගන්නා හැටි සිතා බලන්න. එසේනම් මේ වෙද්දී කොරෝනා නිසා මුළු රටම විශාලාවක් වී ගෙයක් ගෙයක් පාසා මළමිනී ගොඩ ගැහෙනු ඇත.

ජනපතිවරණ පරාජයෙන් පසුව රට අරාජික වෙන බව පෙනෙද්දී මහින්ද රාජපක්ෂ මැතිඳුන් නිහඬව පැත්තකට වුණේ නැත. එසේ පැත්තකට වුණානම් අදත් රට පාලනය කරන්නේ යමපාලකයින් විසිනි. දෙවන වතාවටත් රට බේරා ගැනීමේ මෙහෙයුමට අත දැම්මේය. ගම් දනව් පාසා ගිහින් ජනතාව දැනුවත් කරමින් යමපාලනයට එරෙහිව ජනතාව සංවිධානය කළේය. දෙකඩ කර තිබූ ශ්‍රීලනිපය වෙනුවට අලුතෙන්ම පක්ෂයක් හැදුවේය. එදා මෙදා තුර තමන්ට හිතවත් ප්‍රාදේශීය නායකයින් දස දහසකට වඩා වෙන වෙනම හමුවී ඔවුන් හා සාකච්ඡා කරමින් දේශපාලන සේනාව සංවිධානය කළේය. එක පිට එක මඩ ගසා තිබූ තමන්ගේ සොයුරාගේ සියලුම මඩ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන මගින් ජනතාවට පිළිතුරු දී අවසානයේදී ඔහුගේ නිර්දෝශී කම සනාථ කරමින් ඔහුව ඉතිහාසගත ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපති කරවීය.

අද එජාපය, දෙමළ සංධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය හඬා වැටෙන්නේ තමන්ව මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් දෙකඩ කර දමා ඇති බවයි. එදා තමන්ව ජනාධිපතිවරණයෙන් පරාජය කළ ප්‍රතිවාදියා අද තමන් යටතේ ඡන්දය ඉල්ලයි.

අතීතයේදී සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය කොට බිල්ලන් යොදවා ස්වේදේශිකයන් දොළොස් දහසක් පැහැර ගෙන සිරකරුවන් වශයෙන් දකුණු ඉන්දියාවට ගෙන ගියේය. මේ ගැන කිපුන "පළමුවන ගජබාහු" රජතුමා, තමන්ගේ නීල මහා යෝධයා සමග සේනාසහිතව දකුණු ඉන්දියාවට ගොස්, නීල මහා යෝධයා ලවා සොළී රජුට තර්ජනය කර බිය වද්දා, පැහැර ගත් දොළොස් දාහත් ඊට හිලව් ලෙසට දාසයන් ලෙසට සොළීන් දොළොස් දහසකුත් ‍රැගෙන ආවේය. මේ සිද්ධිය දකුණු ඉන්දීය වීර කාව්‍ය වන සීලප්පදිකාරම් නමැති ග්‍රන්ථයද සනාථ කරයි. එදා සිට වසර 2000 ක් පමණ කාලය ගත වී ඇත. නමුත් ඉතිහාසය පුනරාවර්තනය වේ.

- Mahinda.info Editor